මීරියබැද්ද ජනතාවගේ ජීවිත 'තවමත් අවදානමේ'
දැඩි ජීවිත අවදානමක් සමග දිවි ගෙවීමට සිදු වී ඇතත් ඒ පිළිබඳ වගකිවයුත්තන්ගේ අවධානය යොමු වී නැති බව කොස්ලන්ද මීරියබැද්දේ අවදානම් කලාපයේ ජිවත් වන ජනයා පවසති.
දරුවන් ඇතුළු පවුල් අනූවකට අයත් පිරිසක් මීරියබැද්ද අවදානම් කලාපයේ ජීවත් වන බවයි එහි ගිය රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බීබීසී සංදේශයට කියා සිටියේ.
බදුල්ල දිස්ත්‍රික්කයට අයත් කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ 2014 ඔක්තෝබර් 29 වනදා සිදු වූ නාය යෑම හේතුවෙන් එහි පිහිටි ලයින් කාබර පේලි 06 ක ජීවත් වූ පවුල් 75 කට පමණ අයත් පිරිසකට උන්හිටිතැන් අහිමි විය.
නාය යෑමට හසු වී පුද්ගලයින් 39 දෙනෙකු මරුමුවට පත් වූ අතර පිරිසක් අතුරුදහන් වූහ.
නාය යෑමෙන් අනතුරුව එම ප්‍රදේශයට යාබද ප්‍රදේශයද දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කර තිබේ.
එම කලාපයේ දිවි ගෙවන පවුල් 90 කට පමණ අයත් ජනයා ඉතා දුෂ්කර ජීවිත ගත කරමින් සිටින බවයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සඳහන් කළේ.
පාසල් දරුවන්
ඉහත කී කලාපයේ විදුලිබල සැපයුම අත්හිටුවා ඇති අතර ගම වෙත වැටී ඇති මාර්ගය ඉතා අබලන් තත්වයේ පවතින බවයි ඔහු කියා සිටියේ.
'මට ළමයින් හතර දෙනෙක් ඉන්නවා. අපි ඉන්නේ අවදානම් තැනක. අපි ගැන කවුරුත් ඇවිල්ලා හොයලා බැලුවේ නෑ. නාය ගිය දවස්වල අපිටත් ගෙවල් හදලා දෙනවයි කිවුවට තාම ඒ ගැන හොයන්නවත් කවුරුත් අවේ නෑ. නාය ගිය දවසෙ ඉඳන් ගමට විදුලිය නෑ. කම්බි ඇදලා තියෙනවා විතරයි. ළමයි පාඩම් කරන්නේ ලාම්පු එළියෙන්' විරමණ පාඩියරාජා කියා සිටියේය.
මීරියබැද්ද නාය යෑමට ලක් වූ ප්‍රදේශය හා ඊට යාබද අවදානම් ප්‍රදේශය පිළිබඳ ජයිකා ආයතනය විසින් පරීක්ෂණ වාර්තාවක් සකස් කරනු ලැබ තිබේ.
අදාළ ප්‍රදේශයේ තවදුරටත් අස්ථාවර බවක් පෙන්නුම් කරන බව එම පර්යේෂණ වාර්තා පෙන්වා දෙන බවයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි කියා සිටියේ.
'මගේ පවුලේ හතර දෙනෙක් නාය ගිහින් නැති වුනා. මගේ මල්ලිත් නැති වුනා. ඒ අයගේ දුවයි පුතයි ඉන්නෙත් මගේ ගාව. නාය ගිය තැනට යාබදව අපි ඉන්න තැනත් නාය යනවා කියලා කියනවා. වැස්ස එන කොට යන්න කියනවා. අපිට යන්න තැනක් නැහැ. වහින කොට පොඩි ළමයි උස්ස ගෙන අපිට දුවන්න තැනක් නැහැ' ආර් මනෝහරන් පැවසීය.
මීරියබැද්ද නාය යෑමෙන් අනතුරුව ප්‍රදේශයේ තිබූ පාසල ඉන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත් බවත් ගම්මු කියා සිටිති.
ඒ හේතුවෙන් තම දරුවන්ට ඉගැනුම් සඳහා කිලෝමීටර් තුනක් පමණ දුර ගෙවා කොස්ලන්ද විද්‍යාලයට යෑමට සිදු වී ඇති බවත් ගම්වාසීහු පවසති.
අලිත් එනවා
'අපි ඉස්කොලේ යන්නේ අමාරුවෙන්. වාහන පහසුකම් නැහැ. වහින කොට ඉස්කොලේ ගියාම නාය යන තැන්වල වතුර නිසා එන්න විදියක් නැහැ. දෙමාපියන් ඇවිත් තමයි අපිව එක්ක ගෙන එන්නේ. වහින කොට ගෙවල් තෙමෙන නිසා පාඩම් කරන්න විදියකුත් නෑ' එක් දැරියක් කියා සිටින්නීය.
මීරියබැද්ද අවදානම් කලාපයේ ජිවත් වන ජනතාවට කිසියම් ආපදා අවස්ථාවකදී යෑමට ඇති ආරක්‍ෂිත ස්ථානයේ කිසිදු පහසුකමක් සපයා නොමැති බවත් රාහුල් සමන්ත හෙට්ටිආරච්චි කියා සිටියේය.
'වහින කොට මෙතන්ට ඇවිත් ඉන්න කියනවා. පවුල් 90 ක් විතර මෙතන කොහොමද ඉන්නේ. අලිත් එනවා. එක පැත්තකටත් යන්න බැහැ' කන්දයියා දයාලන් පැවසීය.
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ අවදානම් කලාපයේ ජිවත් වන ජනතාව සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳ විමසූවිටදී බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි කියා සිටියේ බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් 6900 කට අධික පවුල් සංඛ්‍යාවක් දැඩි සහ මධ්‍යම අවදානම් කලාපයන්හි ජිවත් වන බවයි.
ඔවුන් සියලු දෙනාට ඉඩම් ලබා දී නිවාස තනා දීම කළ නොහැකි කටයුත්තක් නිසා අවදානම් කලාපයන්හි ජිවත් වන ජනතාවට ආපදා අවස්ථාවන්ගෙන් බේරී සිටීමට සහ එවැනි තත්වයන්ට මුහුණ දීම සඳහා පෙර පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කළේ.