කොළඹ ඉඩම් විකුණන්න එපා - අගමැති

කොළඹ ඉඩම් Image copyright Getty Images
Image caption 'ඉදිරියේදී ගැණුම්කරුවන් මීට වඩා හොඳ මිලකට එම ඉඩම් ඉල්ලා සිටිවී'

කොළඹ නගරයට අයත් ඉඩම් සහ දේපළ හදිසියේ විකිණීමෙන් වැළකී සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගනුවර ජනතාවගෙන් ඉල්ලා සිටියි.

'තමන් සතු ඉඩම් හදිසියේ විකුණන්න එපා. එම ඉඩම් තබා ගන්න තව වසරකින් හෝ දෙකකදී ගැණුම්කරුවන් මීට වඩා හොඳ මිලකට එම ඉඩම් ඉල්ලා සිටිවී. තමන්ගේ ගොඩනැගිල්ල හෝ ඉඩම දියුණු කරන අතරම එම වාසිය ලබා ගැනීමට උත්සාහ කරන්න.' අගමැතිවරයා පැවසීය.

ඔහු ඒ බව කියා සිටියේ මරදාන සුදුවැල්ලේ සංවිධානය කොට තිබූ බක්මහ උළෙලක් අමතමිනුයි.

ඉන්දියන් සාගරයේ පිහිටි ප්‍රධාන නගරය බිහි කිරීමේ ඉදිරි සැලසුම යටතේ කොළඹ නගරය සහ බස්නාහිර පළාත මූල්‍ය සහ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් වනු ඇති බවයි අගමැතිවරයා පවසන්නේ.

විදෙස් ආයෝජන

'අද විශේෂයෙන්ම මේ රටේ ප්‍රධාන පක්‍ෂ දෙක, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව කටයුතු කිරීම ආයෝජකයන්ට විශාල ශක්තියක් බව කිව යුතුයි. දැන් විදේශ ආයෝජකයින් එනවා. දැන් පක්‍ෂ අතර කඹ ඇදිල්ලක් නැහැ.'

ප්‍රතිපත්ති මත පිහිටා ඉදිරි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වනු ඇති බවට සහතිකයක් ලබා දී ඇති බවත් ඔහු පැවසීය.

'දේශීය හා විදේශීය ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඉදිරිපත් වන්නේ මේ රටේ ජනවාර්ගික හා ආගමික ප්‍රශ්න විසඳා ගනිමින් සාමය ස්ථාපිත කළ විට, රට තුළ සාමය පවතින අවස්ථාවලදී පමණයි'

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ ජනතාව අතර හොඳින් මුදල් ගැවසුණු බවත් රටේ ආර්ථික දියුණුවක් සිදුව ඇති බව එයින් පෙන්නුම් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේය.

බීබීසී යෙන්