මාළු අපනයනය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රට මාළු කන අයට දෙවියන්ගේ පිහිටයි - වයඹ ධීවරයෝ

තායිවානය, මැලේසියාව වැනි රටවලින් 'පරිභෝජනයට නුසුදුසු' මසුන් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වයඹ දිග මුහුදු තීරයේ ධීවර කර්මාන්තයට බලපෑම් එල්ල වී ඇති බව හලාවත දිස්ත්‍රික් ධීවර සංවිධාන පවසයි.

එවැනි 'පරිභෝජනයට නුසුදුසු' ආනයනික මාළු තොග හලාවත ප්‍රධාන මත්ස්‍ය වෙළඳපළ හරහා රට අභ්‍යන්තරයට බෙදා හැරෙන බවයි ධීවර සංවිධාන පෙන්වා දෙන්නේ.

ඒ හේතුවෙන් හලාවත මාළු කෙරෙහි රට තුළ දුර්මතයක් ඇති වීමේ අවදානමක් පවතින බවයි හලාවත දිස්ත්‍රික් ධීවර සංවිධානයේ සභාපති රෝෂන් ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේ.

එලෙස වසරකට සෑහෙන ආනයනික මත්ස්‍ය තොග රට තුළ ගබඩා කර ඇතැයි තමන්ට දැන ගැනීමට ලැබී ඇති බවත් ඔහු පැවසීය.

''වසවිස දාලා කරෝල සඳහා තමයි මේ මාළු එවන්නේ. හලාවත වගේ අලුත් මාළු තියන පළාතකින් බාල තත්වයේ මාළු රට මැදට ගෙන ගිහාම හලාවත මාළුවල ප්‍රශ්නයක් තියනවා කියලා තමයි මිනිස්සු කියන්නේ.''

2014 වසරේදී මෙට්‍රික් ටොන් 50,000 ක්, 2015 වසරේදී මෙට්‍රික් ටොන් 150,000 සහ 2016 වසරේදී මේ වන විට මෙට්‍රික් ටොන් 75,000 ආදී වශයෙන් මහා පරිමාණයෙන් ශ්‍රී ලංකාව වෙත මාළු ආනයනය කොට ඇති බවයි රෝෂන් ප්‍රනාන්දු කියා සිටියේ.

සෞඛ්‍යය අවදානමක්

මෙම තත්වය දිගින් දිගටම පැවතියහොත් ශ්‍රී ලංකාවේ මාළු පරිභෝජනය කරන්නන් සංඛ්‍යාව අඩු වනු ඇති බවට ඔහු අනතුරු හඟවයි.

හලාවත මාළු වෙළඳපොළේ විකිණීමට ඇති ඇතැම් ආනයනික මාළු තොගවල කල් ඉකුත්වීමේ දිනය හෝ අපනයනය කළ රට සඳහන් වී නොමැති බව එහි ගිය තමන්ට දැක ගත හැකි වූ බවයි ප්‍රසාද් ජයමාන්න පූර්ණමාල් සංදේශයට වාර්තා කළේ.

'අපට කියන්න තියෙන්නේ මේ මාළු කන මිනිස්සුන්ට දෙවියන්ගේ පිහිටයි කියලා තමයි' හලාවත දිස්ත්‍රික් ධීවර සංවිධානයේ සභාපති රෝෂන් ප්‍රනාන්දු සඳහන් කළේය.

මාළු ආනයනය නවතා දැමීමට කටයුතු කරන ලෙස ධීවර සංවිධාන රජයෙන් ඉල්ලා ඇති බවයි හලාවත අලුත්වත්ත ධීවර සංවිධානයේ සභාපති සුදේශ් ප්‍රනාන්දු කියා සිටියේ.

''යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගන්න අපි දැඩි වෙහෙසක් දරුවා.ඒ තහනම ඉවත් වෙන කොට ඒ වගේ දෙගුණයක, තුන් ගුණයක මාළු රට තුළට ගෙනත් ඉවරයි.''

නිසි මිලක් නැහැ

මිලෙන් අඩු ආනයනික මාළු තොග වෙළඳපොළට නිකුත් කිරීම නිසා තම මාළු තොග නිසි මිලකට විකුණා ගත නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් ඔහු පැවසීය.

මේ පිළිබඳ බලධාරීන් වෙත දිගින් දිගටම දැනුම් දුන්නත් පළක් නොවුණු බැවින් ඊට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා හලාවත ධීවර ප්‍රජාව එක්ව දේව කන්නලව්වක් සංවිධානය කොට තිබිණි.

ආනයනික මාළු සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත් වයඹ පළාත් සභාවේ ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය සුමල් තිසේරා සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

ධීවර අමාත්‍ය මහින්ද අමරවීර සමග ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි පළාත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.