HIV භීතිය: 'පාසලක් ලැබුනා, පොරොන්දු වුන ආධාර තවමත් නෑ'

HIV ආසාදිතයන් බවට චෝදනා කරමින් දරුවා පාසලට ඇතුළු කිරීමට ගම්වාසීන් විරෝධය පෑම නිසා පාසල ඉදිරියේ උපවාස කිරීමට පවා මවට සිදුවිය
සිය දරුවාට අධ්‍යාපනය ලැබීම පිණිස පාසලක් ලැබුණු නමුත්, අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රතිඥා දුන් පරිදි මෙතෙක් අමාත්‍යාංශයෙන් කිසිදු ආධාරයක් නොලැබුන බව කුලියාපිටිය දරුවාගේ මව පවසන්නීය.
එමෙන්ම ලොව පුරා විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් තමන්ගේ බැංකු ගිණුමට මුදල් බැර කළ බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පල වන ප්‍රචාර සත්‍යයෙන් තොර බවත් දරුවාගේ මව බීබීසී සංදේශයට කියා සිටියාය.
එච්අයිවී ආසාදිතයන් බවට සැකකරමින් ගම්වාසීන් පෑ විරෝධය හමුවේ ගමේ පාසලේ අධ්‍යාපනය ලැබීමේ වරම අහිමි වූ දරුවා පසුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුලත් කෙරුනේ ක්‍රියාධරයන්, විදුහල් බලධාරීන්, සහ අධ්‍යාපන බලධාරීන්ගේ මැදිහත්වීමෙන්.
ඉන් අනතුරුව සිය දරුවා ඉතා සතුටින් අධ්‍යාපනය හදාරන බව පවසන මව, ගමෙන් ඈත්ව දිවි ගෙවද්දී ජීවිකාවක් නොමැතිවීම බරපතල ගැටලුවක් බවත් සංදේශයට කියා සිටියාය.
'දරුවා දැන් හරිම සතුටෙන් ඉගෙන ගන්නවා. ගුරුවරුත් හරිම ආදරෙයි'
"රංජන් රාමනායක ඇමතිතුමාට අවුරුදු දවස්වල මම කතා කලාම එයා මට රුපියල් 20,000 ක් පොතට දාල තිබ්බ. ඒකෙන් තමයි මේ දවස්වල රෝල අරන් ගියේ."
අමාත්‍යාංශයෙන් මූල්‍යාධාරයක් ලබා දෙන බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් දුන් පොරොන්දුව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසූ විට අදාළ පෞද්ගලික ආයතනය විසින් මුදලක් තැන්පත් කර තිබුණු නමුත් අමාත්‍යවරයා ඇමතීමට තමන් මෙතෙක් දැරූ සියලු උත්සාහයන් අසාර්ථක වූ බවත් ඇය පවසන්නීය.
වැඩිදුර කරුණු විමසීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහයද සාර්ථක නොවීය.
ඒ අතරවාරයේ සිය ගිණුමට ලක්ෂ ගණන් මුදල් බැර කළ බවට විදේශගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් අසත්‍ය ප්‍රචාරයක් ගෙනයමින් සිටින බවත් ඇය සංදේශයට කියා සිටියාය.
"අර අපිට ලන්ඩන්වලින් සල්ලි වගයක් ලැබිල තියෙනව. ඒ වුනාට ඒවා අපිට ලැබුනේ නෑ. මට ඇත්තටම මට මගේ ගිණුම වුනත් පෙන්නන්න පුළුවන්," දරුවාගේ මව සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සංවාදයකට එක්වෙමින්.
තමාත්, දරුවාත් වෙනුවෙන් ලක්ෂ ගණනින් ආධාර මුදල් එකතු කළ බව විදේශගත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් දුරකතනයෙන් තමා අමතා පැවසූ නමුත් එවැනි කිසිදු මුදලක් මෙතෙක් තමන්ට නොලැබුන බවයි, ඇය අවධාරණය කරන්නේ.
"ආපහු කියල තියෙනවලු මගේ දරුවා වෙනුවෙන් ගිණුමක් ආරම්භ කළයි කියල. ඒකත් බොරුවක්."
තම දරුවාට පාසලක් අහිමිවීම ලෝකයට වාර්තා කළ මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න සහ නිරන්තරයෙන් සිය දුක සැප විමසමින් ආධාර කරන රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම ළමාරක්ෂක අධිකාරියේ කාංචනා නම් නිලධාරිනියද ඇය කෘතවේදීව සිහිපත් කරන්නීය.