‘යහපාලනයත් පරණ ඇඳුම් අඳින්න උත්සාහ කරනවාද?’

රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව වුවද කටයුතු කළ යුත්තේ නීතියට අනුකුලව බව ඔහු අවධාරණය කරයි.
තමන්ට අභිමත පරිදි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසියට හෝ හමුදාවට බලයක් දී ඇත්නම් එය යහපාලනයට ප්‍රතිවිරුද්ධ දෙයක් බව සාධාරණ සමාජයක් උදෙසා වන ජාතික ව්‍යාපාරය පවසයි.
එම ව්‍යාපාරයේ කැඳවුම් කරු මහාචාර්ය සරත් විජේසුරිය සංදේශයට මේ බව කියා සිටියේ එල්ටීටීඊයේ හිටපු නායකයකු වන රාම් නැමැත්තා පැහැරගෙන ගිය බවට පළ වී ඇති වාර්තා පිළිබඳව අදහස් දක්වමින්.
පුනරුත්තාපනය කර සමාජ ගත කරන ලද එම පුද්ගලයා තම භාරයේ සිටින බව පොලිසිය තහවුරු කර තිබේ.
පසුගිය සෙනසුරාදා සිට සිය සැමියා අතුරුදහන් වී ඇති බවට රාම්ගේ බිරිඳ පොලිසියට පැමිණිලි කොට තිබුණි.
වෑන් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් තම සැමියා පැහැර ගෙන ඇති බවයි ඇය පවසා ඇත්තේ.
'මොන විදියකින් වත් කිසිම පුරවසියෙක්ව අත්අඩංගුවට ගන්නවානම් පැහැරගෙන යනවනම් නෛතික පසුබිමකින් වියුක්තව අපි ඒකට විරුද්ධයි. යම්කිසි වරදක් කරලා තියෙනවනම් ඒ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි. හැබැයි අපි ජනවාරි අට වෙනිදා යම්කිසි වෙනසක් අපේක්ෂා කළේ පුරවැසියන්ගේ ජීවත් වීමේ නිදහසට තර්ජනයක් තිබෙන බව අපි අත් වින්ද නිසා. අපි ඒ ස්ථාවරයේම ඉඳගෙන අපි කියනවා යම්කිසි පුද්ගලයෙක්ව පැහැරගෙන තියෙනවානම් අතුරුදහන් කරලා තියෙනවානම් එක සාපරාධී ක්‍රියාවක්.' මහාචාර්ය සරත් විජේසුරිය පැවසීය.
තව දුරටත් ඔහු කියා සිටියේ එවැන්නක් සිදු වී ඇත්නම් එය 'න්‍යාය පත්‍රයේ අංක එකට ගෙන' නීතිය හා සාමය රැකීම සඳහා නව නායකයන් කටයුතු කළ යුතු බවයි.
'ලෝකයට පෙන්වන්න ඕන ඉස්සර කරපු දේවල් අපි කරන්නේ නැහැ කියල. හැබැයි ඒ ගැන කල් මරණ කොට අපිටත් සැකයක් පහල වෙනවා පරණ ඇඳුම් ම ආපහු අඳින්න යම් යම් පුද්ගලයෝ උත්සාහ කරනවද කියල' මහාචාර්යවරයා පැවසීය.
උතුරේ යුද්ධය නිම කිරීමෙන් පසු එම ප්‍රදේශය තුළ යම් කිසි වරදක් සිදු වේනම් එය නෛතික රාමුවක් තුළ විසඳිය යුතු බවයි මහාචාර්ය විජේසුරිය පවසන්නේ.
රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව වුවද කටයුතු කළ යුත්තේ නීතියට අනුකුලව බව ඔහු අවධාරණය කරයි.
එවැනි විනිවිද භාවයකින් පාලකයන් කටයුතු කරන්නේ නම් පෙර සිදු වූ අප්‍රසන්න දේ යළි සිදු නොවීම සඳහා පාලකයන්ට උදව් කිරීමට ඒ ජනතාව ම පෙළඹෙන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.
'අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන මේ රටේ සියළුම දෙමළ ජනතාව එල්ටීටීඊ අය නොවන බව.' මහාචාර්ය සරත් විජේසුරිය පැවසීය.