ශ්‍රී ලන්කන් ණය බර රජය භාරගන්නවා - අගමැති රනිල්

Ranil vikramasingaha
ඡායාරූප ශීර්ෂ වැකිය,

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කිසිසේත්ම විකුණා දැමීමක් සිදු නොවන බව අගමැතිවරයා අවධාරණය කරයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ණය බර රජයට පවරා ගැනීමකින් තොරව එම ආයතනය ඉදිරියට ගිය හොත් එම ආයතනය කඩා වැටී සංචාරක කර්මාන්තය බිඳවැටීමේ අවදානමක් පවතින බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ හේතුවෙන් එම ආයතනයේ ණය මුදල් ගෙවීම රජය භාරගෙන ශ්‍රී ලන්කන් ආයතනය ණය බරින් නිදහස් කිරීමට තීරණය කළ බවත් අගමැතිවරයා කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

"මේකට රජය අත ගැහුවේ නැත්නම් ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් කඩා වැටෙනවා. ආර්ථිකයත් කඩා වැටෙනවා. සංචාරක ව්‍යාපාරයත් කඩා වැටෙනවා," ඔහු පැවසීය.

"මේක විශාල ණය මුදලක්, ශ්‍රී ලන්කන් ආයතනයට ගෙවා ගන්න බැරි. ඩොලර් බිලියන 3.2 ක් එහෙම නැත්නම් රුපියල් බිලියන 460 ක්."

එලෙස ණය මුදලින් නිදහස් කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉදිරියේදී ලාභ ලැබීමේ අරමුණින් වෙනත් සමාගමක් සමඟ හවුල්කාර සමාගමක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවත් අගමැතිවරයා පැවසීය.

advertiesment
ඡායාරූප ශීර්ෂ වැකිය,

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් පුවත්පත් වල පළ කර තිබුණු දැන්වීමක්

පසුගිය ආණ්ඩු සමයේ එමිරේට්ස් ගුවන් සමාගමත් සමග තිබුණු ගිවිසුම අහෝසි කිරීමට පෙර ශ්‍රී ලන්කන් ගුවන් සේවය මහජනතාවට බරක් නොවී ලාභ ලැබූ ආයතනයක්ව තිබුණු බව ඔහු පෙන්වා දුන්නේය.

"අපිට තියෙන්නේ මේක වහල දාන්න හරි නැත්නම් පුද්ගලික හවුල්කාර සමාගමක් එක්ක ගෙනියන්න. තවත් රජය මුදල් යොදවලා ජනතාවට බර දාන්න බැහැ."

සුඛෝපභෝගී යානා

එයාර්බස් ආයතනයෙන් පසුගිය රජය ඇණවුම් කර තිබු ගුවන් යානා අතරින් තවමත් නිෂ්පාදනය කර නැති ගුවන් යානා හතරක ඇණවුම් අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගේ භාවිතය සඳහා සුඛෝපභෝගී ගුවන් යානයක් ඇණවුම් කළ බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පසුගියදා කළ චෝදනාව පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් අගමැතිවරයා පැවසුවේ එම ඇණවුමද අත්හිටවූ බවයි.

"කණගාටුයි කියන්න අපි ඒ ඇණවුම අහෝසි කරා. නැත්නම් අපිට නිදාගෙන යන්න තිබ්බා. දැන් ජනාධිපතිතුමයි මම සාමාන්‍ය ගුවන් යානාවක ගිහිල්ලා ඔය කොහේ හරි ඩුබායි හරි බැංකොක් වල හිරවෙනවා ඊළඟ ගුවන් යානය ගන්න. මේකේ පින්තූර බැලුවම හිතෙන්නේ මේක ගන්න තිබුණා කියලා," අගමැතිවරයා සිනහසෙමින් පැවසීය.

'විකුනන්නේ නෑ'

මෙම සුඛෝපභෝගී ගුවන් යානය, අනිකුත් ගුවන් යානා මිලදී ගැනීම හේතුවෙන් නොමිලේ ලැබෙන්නක් බවට හිටපු ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය පෙන්වා දුන් විට, එය නොමිලේ ලැබෙන්නක් බව පිළිගත් අගමැතිවරයා කෙසේවෙතත් ඒ වෙනුවට වෙනත් අමතර කොටස් ලබා දෙන ලෙස අදාළ සමගමට දැන්වූ බවත් පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කිසිසේත්ම විකුණා දැමීමක් සිදු නොවන බව අගමැතිවරයා අවධාරණය කළේය.

රජයට දරාගත නොහැකි ආකාරයට රජයේ සේවකයන්ට රුපියල් 10000 පඩි වැඩි වීමක් ඇතුළු සහන ලබාදීම මෙලෙස වර්තමානයේ ආර්ථික අර්බුදයක් ඇතිවීමට හේතුව නේදැයි විමසු විට අගමැතිවරයා පැවසුවේ රටේ සමස්ථ ඉල්ලුම වැටී තිබීම හේතුවෙන් ජනතාව අතට මුදල් ලබාදීමක් අවශ්‍යව තිබු බවයි.

සිදුවන වැට් බදු සංශෝධනයෙන්ද අත්‍යවශ්‍ය භාණ්ඩවලට කිසිදු බලපෑමක් සිදු නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසීය.