HIV භීතිය: 'කුලියාපිටිය මවගේ ප්‍රකාශ අසත්‍යයි'

Image caption දරුවාට පාසලක් ලබාදීමෙන් අනතුරුවත් බොහෝ ආධාර කළ බව අමාත්‍යාංශය පවසයි.

සිය දරුවාට පාසලක් ලැබුනත් ඉන් අනතුරුව දුන් පොරොන්දු ඉටු නොකළ බවට කුලියාපිටිය දරුවාගේ මව කරන ප්‍රකාශය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එබැවින් මවගේ ප්‍රකාශය 'කණගාටුවෙන් හෙලාදකින' බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් කල්ප ගුණරත්න විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ.

අමාත්‍යාංශය ඒ බව සඳහන් කරන්නේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පොරොන්දු වූ ආධාර මෙතෙක් නොලැබුන බවට දරුවාගේ මව බීබීසී සංදේශයට කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ විදුහල් බලධාරීන්ගේ එකඟත්වය මත පසුගිය මාර්තු මාසයේ දරුවා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුලත් කිරීමෙන් අනතුරුව දරුවාට අවශ්‍ය නිල ඇඳුම්, පාසල් උපකරණ ඇතුළු පහසුකම් සැපයීමටද ඒ අවස්ථාවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය එකඟතාව පළ කළ බවත් නිවේදනයේ සඳහන්.

'ඇමතිතුමා මුණගැසුනා'

ඒ සමඟම දරුවාට සිය මව සමඟ සිටිමින් පාසල් යාමට අවස්ථාව සලසා දීම පිණිස අමාත්‍යවරයාගේ උපදෙස් මත අබාන්ස් ආයතනයෙන් මූල්‍යාධාර ලබාගෙන ඔවුන්ට කුලී නිවසක් පිරිනමා, එම නිවස සඳහා වසරකට අවශ්‍ය කුලී මුදල ගෙවා ඇති බවත් අමාත්‍යාංශය පවසයි.

දරුවාගේ මවට රැකියාවක් සොයා දෙන ලෙස අමාත්‍යවරයා කළ ඉල්ලීමට අදාළ ආයතනය පියවර ගනිමින් තිබෙන බව පවසන නිවේදනය, දරුවාගේ සහ මවගේ වියදම් වෙනුවෙන් මාසිකව රුපියල් 15,000 දීමනාවක් ඩිමෝ ආයතනය හරහා ලබාදීමට එකඟතාව පළ කර තිබෙන බවත් පෙන්වා දෙයි.

Image copyright Akila Viraj Kariyawasam
Image caption පාසලක් ලබාදීමෙන් අනතුරුව දරුවාට සහ මවට අවශ්‍ය බොහෝ පහසුකම් ලබා දුන් බවයි අමාත්‍යාංශය පවසන්නේ

එමෙන්ම අමාත්‍යංශයේ ‍ සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යක්ෂ රේණුකා පීරිස්ගේ මැදිහත්වීමෙන් අලුත් අවුරුද්දට ඇඳුම්, පැළඳුම් ඇතුළු අවශ්‍ය දේ ලබාදීමට පියවර ගත් බවත් එහි සඳහන්.

දරුවාගේ මව පසුගිය සති අන්තයේ කුලියාපිටියේදී අධ්‍යාපන අමාත්‍යවරයා හමු වූ බවත්, ඇයට ලබාදීමට නියමිත රැකියාව සම්බන්ධයෙන් එහිදී ඇය සමග සාකච්ඡා කළ බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

මේ පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ දරුවාගේ මව ඒ කිසිවක් ප්‍රතික්ෂේප නොකළේය. (මව සමඟ සාකච්ඡාවට සවන්දෙන්න)

ලබාදුන් ආධාර පිළිබඳව අමාත්‍යාංශය කරන ප්‍රකාශ සත්‍ය බව පවසන දරුවාගේ මව, තමන් කිසිවිටෙකත් එම උපකාර නොසැඟවූ බවත් අවධාරණය කරන්නීය.

සංදේශයට සාකච්ඡාව ලබාදීමෙන් අනතුරුව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මුණගැසුණු බව පිළිගත් ඇය, ඒ මොහොත වනතුරුම අමාත්‍යවරයා හමුවීමට නොහැකිවීම පිළිබඳව ඒ අවස්ථාවේ විස්තර කළ බවත්, ඩිමෝ ආයතනය හරහා ලබාදීමට නියමිත මුදල පිළිබඳව ඒ වනතුරු තමන් දැන නොසිටි බවත් සඳහන් කළාය.

කෙසේ නමුත් ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සිය ගිණුමට බැර කළ මුදලක් සහ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලබාදුන් පරිත්‍යාගයක් හැරුණු විට, විදේශගත ශ්‍රී ලාංකිකයන් සිය ගිණුමට මුදල් බැර කළ බවටත්, සිය පුතා වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇති බවටත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ වන පුවත් සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර බවයි, දරුවාගේ මව වැඩිදුරටත් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්