'සුළඟ අප රැගෙන යාවි' රෙමි සම්මානයෙන් පිදුම් ලබයි

'සුළඟ අප රැගෙන යාවි'
ඡායාරූප ශීර්ෂ වැකිය,

'සුළඟ අප රැගෙන යාවි' ශ්‍රී ලාංකික ස්වාධීන සිනමා ශිල්පී නුවන් ජයතිලකගේ කුළුඳුල් සිනමා සිත්තමයි

ශ්‍රී ලාංකික ස්වාධීන සිනමා ශිල්පී නුවන් ජයතිලකගේ කුළුඳුල් සිනමා සිත්තම 'සුළඟ අප රැගෙන යාවි' ලෝක ප්‍රකට වර්ල්ඩ්ෆෙස්ට් හූස්ටන් සිනමා උළෙලේ රෙමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

අංකුර සිනමා ශිල්පියකු ලෙසින් තමන්ගේ කුළුඳුල් නිර්මාණයටම මෙවැනි සම්මානයක් හිමිවීම පිළිබඳව 'ඉමහත් සන්තෝෂයක් දැනෙන' බවයි, අධ්‍යක්ෂ නුවන් ජයතිලක බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ.

"මෙච්චර ලොකු බලාපොරොත්තු කන්දරාවක් තිබුණේ නැතුව බොහොම පොඩි තැනකින් පටන් ගත්තු චිත්‍රපටයක් මේක," ඔහු පැවසීය.

"හැබැයි මට බලාපොරොත්තුවක් තිබුන මේක ජාත්‍යන්තර තලයට කොහොම හරි අරන් යන්න ඕන කියල. ඒ නිසා හීනයක් මගේ මට මේ චිත්‍රපට උළෙල ගැන තිබුන," ලොව ඉපැරණිම සිනමා උළෙලක් වන හූස්ටන් සිනමා උළෙලේ රෙමි සම්මානයෙන් පිදුම් ලැබීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

'මෙච්චර ලොකු බලාපොරොත්තු කන්දරාවක් තිබුණේ නැතුව බොහොම පොඩි තැනකින් පටන් ගත්තු චිත්‍රපටයක් මේක'

ලොව රටවල් 37 ක් නියෝජනය කරමින් 4500 කට අධික සිනමා සිත්තම් මේ වසරේ පැවැත්වෙන 49 වැනි වර්ල්ඩ්ෆෙස්ට් හූස්ටන් සිනමා උළෙලට ඉදිරිපත් කර තිබුණි.

ලෝක පූජිත ස්ටීවන් ස්පිල්බර්ග්, ජෝර්ග් ලූකස්, ඔලිවර් ස්ටෝන් සහ රිඩ්ලි ස්කොට් වැනි සිනමා ශිල්පීන් සොයා ගැනීමේ සහ ඔවුන්ගේ නිර්මාණ මුලින්ම ලොවට හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේත් හූස්ටන් සිනමා උළෙලට.

සුළඟ අප රැගෙන යාවි නැසීගිය ප්‍රවීන ලේඛක සයිමන් නවගත්තේගමගේ දියණියක වන මායා නවගත්තේගමගේ නිෂ්පාදනයකි.

චිත්‍රාල් චිටි සෝමපාල සංගීතය සැපයූ 'සුළඟ අප රැගෙන යාවි', සිනමාකරණය ස්ට්‍රයිනර් මැක්ලේන් ඇඩම්ස් විසිනි.

18 වැනි ලන්ඩන් ආසියානු සිනමා උළෙලටද තෝරා ගැනුණු 'සුළඟ අප රැගෙන යාවි' නෙදර්ලන්තයේ සිනෙකිඩ් සමාජයේ ප්‍රදර්ශනයටද තෝරා ගැනින.

'බඹර වළලු' සිංහල සිනමා සිත්තම 2010 දී හූස්ටන් සිනමා උළෙලේ රෙමි සම්මානයෙන් පිදුම් ලැබීය.