අනවසර ගිනි අවි භාර නොදෙන පුද්ගලයන් 'අත්අඩංගුවට'

අනවසර ගිනි අවි Image copyright Getty Images
Image caption අනවසර අවි සඳහා රජය විසින් රුපියල් 5,000 සිට රුපියල් 25,000 දක්වා මුදලක් ගෙවනු ලබන බව ආරක්ෂක අමාත්‍යංශ නිවේදනයේ සඳහන්

නියමිත කාල සීමාවට පෙර අනවසර ගිනි අවි භාර නොදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා රට පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසයි.

2016 අප්‍රේල් 25 සිට මැයි 06 දක්වා කාලය ඇතුළත අනවසර ගිනි අවි භාර දීමට කටයුතු කරන ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එකී කාල සීමාවෙන් අනතුරුව අනවසර ගිනි අවි පිළිබඳ රාජ්‍ය බුද්ධි අංශ සහ ජනතාවගෙන් ලැබෙන තොරතුරු උපයෝගී කර ගනිමින් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්යය බළකාය එක්ව වැටලීම් සිදු කරනු ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

පසුගිය කාල සීමාව තුල වරින් වර රට තුළ වාර්තා වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහමුලින්ම පාලනය කිරීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදී ඉහත කී වැඩපිළිවල ක්‍රියාත්මක කළ බවයි ඔහු පවසන්නේ.

2016 මැයි මස 06 වන දිනට පෙර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පොලිස් ස්ථාන වෙත අනවසර ගිනි අවි භාර දීම සිදු කළ හැකි අතර එවැනි අනවසර අවි සඳහා රජය විසින් රුපියල් 5,000 සිට රුපියල් 25,000 දක්වා මුදලක්ද ගෙවනු ලබන බවයි නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.