වර්ගවාදී අඳුරට ශාප නොකොට දැල්වූ පහන්
ශ්‍රී ලංකාව තුළ යළි වාර්ගික යුද්ධයක් ඇති නොවීම සඳහා බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් ඉටුවිය යුතු යුතුකම පිළිබඳව නව දෘෂ්ඨිකෝණයකින් බලා දෙමල ජාතික කුලදරුවන් දෙදෙනෙකු පැවිදිබිමට ඇතුළත් කරගත් බව කන්දක්කුලිය සමුද්‍රාසන්න විහාරාධිපති පුජ්‍ය බැඳී වැව දියසෙන් හිමිපාණෝ පවසති.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ තම විහාරස්ථානයේ දී පැවිදි බිමට ඇතුලත්වී සිටින කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලා දෙනමක් පිළිබඳව බීබීසීය සමග අදහස් දක්වමින්.
ද්‍රවිඩ ජාතිකයන් ව වව්නියාවේ එකම ගමක ඉපිද හැදුනු වැදුණු දෙමළ ඥාති සොහොයුරන් දෙදෙනෙකි මෙසේ කල්පිටිය කන්දක්කුලිය සමුද්‍රාසන්න විහාරස්ථානයේ දී පැවිදි බිමට ඇතුළත්ව සිටින්නේ.
වව්නියාවේ උපත ලැබූ සිරිහරන් තනුෂන් කොක්එළියේ සුමන හිමියන් නමින්ද, කනකරාසා තනුෂන් කොක්එළියේ ජිනාලංකාර හිමි නමින්ද මෙසේ පැවිදි බිමට ඇතුළත් වී සිටිති.
පැවිදි වී වසරක් ඇතුළත සිංහල භාෂාවෙන් ධර්මදේශනා පැවැත්වීමටත් ගාථා සජ්ජායනා කිරීමටත් හැකියාවක් පෙන්වන මේ කුඩා සාමනේර භික්ෂුන් වහන්සේලාගෙන් අනාගතයේ දී තමා අපේක්ෂා කරන්නේ දෙමළ භාෂාවෙන් බුද්ධ ධර්මය දේශනා කිරීම බවයි දියසෙන් හිමියන් පවසන්නේ. එහෙත් ගැටලුවක් මතුවී ඇති බව උන් වහන්සේ පවසා සිටියහ.
"දැනට මම මේ පොඩි හාමුදුරුවරු පිළිබඳව මුහුණ දෙන බරපතළම ගැටලුව උන්වහන්සේලා ට දෙමළ අමතක වීම. සිංහල සමාජයේ සිංහල පොඩි හාමුදුරුවරු එක්ක ඉගෙනීම් ලබන කොට උන්වහන්සේලා ට දෙමළ අමතක වෙනව. ඒ නිසා මං ඒ අය දැනුවත් කරලා තියනව ඒ දෙන්නට දෙමළෙන් කතා කරන්න කියල" යනුවෙනුයි බැඳී වැව දියසෙන් හිමිපාණන් එම ගැටළුව විස්තර කළේ.