'උතුරේ ජනයා ඉල්ලන්නේ ෆෙඩරල් පාලනයක් නෙවෙයි'-ටිල්වින්

Image caption ජාතිවාදී ගැටුම් ඇති නොකර රටේ ජාතික සමගිය ගොඩනැගීම සිදුකළ හැක්කේ උතුරේත් දකුණේත් ජනතා ගැටළුවලට විසඳුම් ලබාදීමෙන් පමණක් බවයි ටිල්වින් සිල්වා පැවසුවේ

ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් කිරීම සඳහා උතුරේ උතුරු පළාත් මහ ඇමති සිවි විග්නේෂ්වරන් ප්‍රමුඛ කණ්ඩායමත් , දකුණේ ආණ්ඩුවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමත් ජාතිවාදය වපුරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

අද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේ මෙම ජාතිවාදී දේශපාලකයන් රටේ තුළ නැවත ජාතිවාදය ඇවිළ වීමට උත්සහ දරන බවයි.

උතුරු නැගෙනහිරට ෆෙඩරල් පාලනයක් ඇති කිරීමට උතුරු පළාත් සභාව දරන උත්සාහය සම්පූර්ණයෙන් පරාජයට පත් කල යුතු බව පවසන ඔහු මේ මගින් උතුරේ ජනතාවට කිසිවක් හිමි නොවන බවයි අවධාරණය කළේ.

ලැබෙන දෙයක් නැහැ

'වෙනම පාලනයක් වෙනුවෙන් ගෙනෙන යෝජනාවලින් උතුරේ ජනතාවට ලැබෙන දෙයක් නැහැ. ඔවුන් විසින් ඇති කරන ජාතිවාදයෙන් සිදුවන්නේ නැවත වතාවක් අපේ රටට විදේශ රටවල් වලට අත පෙවීම, ජාතික අසමගිය ඇති කිරීම පමණයි. එනිසා එම උත්සාහය සම්පූර්ණයෙන් පරාජයට පත් කළ යුතුයි' යැයි ඔහු පැවසීය.

'ඒ වගේම එම සිදුවීම් පදනම් කරගනිමින් දකුණේ පරාජිත කල්ලි විසින් ගොඩනගන ජාතිවාදී මතවාදයත් මේ රටට හෝ ජනතාවට යහපතක් ඇතිකරන්නේ නැහැ' යනුවෙනුයි ජවිපෙ ලේකම්වරයා පැවසුවේ.

ජාතිවාදී ගැටුම් ඇති නොකර රටේ ජාතික සමගිය ගොඩනැගීම සිදුකළ හැක්කේ උතුරේත් දකුණේත් ජනතා ගැටළුවලට විසඳුම් ලබාදීමෙන් පමණක් බව ද ඔහු පැවසීය.

'උතුරත් නැගෙනහිරත් ජනතාව පීඩාවක ඉන්නවා. පහුගිය කාලයේ එල්.ටී.ටී.ඊ.ය විසින් කොල්ල කාපු එම ප‍්‍රදේශවල ජනතාවගේ රන් භාණ්ඩ සුළු ප‍්‍රමාණයක් ඡන්ද කාලේ මහින්ද රාජපක්‍ෂ බෙදලා දුන්නා. අනෙක් ඒවට ගත්ත පියවරක් නැහැ. ඉඩම් අහිමි වුණු ජනතාවට නැවත ඉඩම් ලබාදෙන්න කටයුතු කළේ නැහැ. ධීවර ජනතාවගේ ගැටලූවලට විසඳුම් නැහැ. කිසිවකට මේ ආණ්ඩුවලින් විසඳුම් ලබාදී නැහැ. මේ ආණ්ඩුවටත් උතුර-දකුණ භේදයක් නැතිව ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරිවෙලා තිබෙනවා. ඒ නිසා ජාතිවාදය මතුවීම මේ ආණ්ඩුවටත් වාසියක් වෙලා තියෙනවා. ජාතිවාදය මතුවීමෙන් ඇත්ත ජනතා ප‍්‍රශ්න යට යන එකට මේ ආණ්ඩුවත් කැමතියි' යනුවෙන් ඔහු පැවසීය.

බෙදුම්වාදය නැවත කරලියට

උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් ප්‍රමුක පිරිසගේ ජාතිවාදය හේතුවෙන් දකුණේ ජාතිවාදය පෝෂණය වීමත්, දකුණේ මහින්ද රාජපක්‍ෂ ඇතුළු ජාතිවාදී කණ්ඩායම්වල ජාතිවාදය හේතුවෙන් උතුරේ ජාතිවාදය පෝෂණය වීමත් සිදුවන බවයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා පෙන්වා දුන්නේ.

උතුරු පළාත් සභාව තුළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අසමත්වී ඇති දෙමළ ජාතික සන්ධානය ජනතාවගෙන් එල්ල වන විරෝධය මගහරවා ගැනීමට ජාතිවාදය බෙදුම්වාදය නැවත කරළියට ගෙනආ බවයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරන්නේ.

'උතුරේ ජනතාවගේ ආර්ථීක ප‍්‍රශ්නවලට ධීවර ජනතාවගේ ප‍්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්න ඔවුන් අසමත් වුණා. උතුරේ ජනතාවන්ට පානීය ජලය සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් තිබෙනවා. නමුත් උතුරු පළාත් සභාවට ආණ්ඩුවෙන් වෙන් කරපු මුදල් නිසි ලෙස පාවිච්චි කරලා ඔවුන්ට ජල යෝජනාවක් ගේන්න බැරිවුණා. ජනතාවගෙන් එල්ල වන විරෝධය මගහරවා ගන්න විග්නේෂ්වරන් ඇතුළු ටී.එන්.ඒ. සංවිධානය ජාතිවාදය බෙදුම්වාදය නැවත කරළියට ගේනවා. රට තුළ සමාජය තුළ වැරදි සංවාදයක් හදනවා' යනුවෙනුයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

උසිගැන්වීමක්

උතුරේ ජනතාවගේ අවශ්‍යතාවය ෆෙඩරල් පාලනයක් නොවන බව පැවසූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙම යෝජනාව හේතුවෙන් සමස්ත උතුරේ ජනතාවට එරෙහිව දකුනේ ජනතාව උසි ගැන්වීම නතර කළ යුතු බවයි සඳහන් කළේ.

'උතුරේ සහ නැගෙනහිර, ජනතාවගේ ප‍්‍රශ්නය ෆෙඩරල් නොවේ. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙන්නේ එදිනෙදා ජීවිතයේ මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමයි. එම නිසා දෙපැත්තේ සිට ජාතිවාදය අවුළුවන ධනපති පාලකයින්ගේ ගොදුරු බවට පත් නොවී ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා' යනුවෙන් ද ඇතැමුන් ජාතිවාදය ඇති කිරීමට මාධ්‍ය හරහා විවිධ ප‍්‍රවෘත්ති නිර්මාණය කර පළකරන බවද ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.