IMF කොන්දේසි සහිත ණයට නිලධාරී මට්ටමේ එකඟතාවයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
ඡායාරූප ශීර්ෂ වැකිය,

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් කෝටි 150 ක් සැපයීමට නිලධාරී මට්ටමින් එකඟ වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

පසුගිය අප්‍රියෙල් මාසයේ දී ශ්‍රී ලංකාවේ බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සිදු වූ සාකච්ඡා අනුව එම එකඟතාව ඇති වූ බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටින්නේ.

මූල්‍ය අරමුදල මගින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවක් අනුව 'වෙනත් ද්විපාර්ශ්වීය සහ බහු පාර්ශවීය ණය වශයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් දශ ලක්ෂ 650 ක් සපයනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ අනුව ශ්‍රී ලංකාවට සපයනු ලැබෙන මුළු මුදල ඩොලර් කෝටි 220 ක් පමණ' වෙයි.

ණය සැපයුම ජුනි මාසයේ

මාස තිස් හයක කාල පරාසයකට යටත්ව ඉහත කී ණය සැපයුම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ ප්‍රධානී ටොඩ් ෂ්නයිඩර් පවසන්නේ මෙම ගිවිසුමේ පූර්ව කොන්දේසි සම්පූර්ණ කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වෙන බවයි.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම ලබන ජුනි මස මුල දී සලකා බැලෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි ටොඩ් ෂ්නයිඩර් වැඩි දුරටත් පවසන්නේ.

ගිවිසුමට අදාළ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආර්ථික වැඩ සටහන, බදු ප්‍රතිපත්තියේ මූලික වෙනස් කම් සිදු කිරීම සහ බදු ආදායමේ පහළ යාම පාලනය කිරීමට හා රාජ්‍ය මූල්‍ය කටයුතු මැදි කාලීනව තිරසාර පදනමකට ගෙන ඒම ඇතුළත් වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ ප්‍රධානී ටොඩ් ෂ්නයිඩර් පවසන ආකාරයට 'එම ක්‍රියාවලියේ ඉලක්කය ප්‍රාථමික මූල්‍ය අතිරික්තයක් දක්වා වර්ධනය වෙමින් රාජ්‍ය ණය සැලකිය යුතු මට්ටමින් අඩු කර' ගැනීමයි.

ශ්‍රී ලංකා ගුවන් සේවය

නව බදු ආදායම් සඳහා රේගු අධිකාරියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම මගින් 2020 වන විට රජයේ දළ දේශීය නිෂ්පාදනය 15% කට ආසන්න මට්ටමකට වර්ධනය කරනු ලැබීම සහ අයථා කළමනාකරණය යටතේ රාජ්‍ය මූල්‍ය කෙරෙහි අහිතකර ව බල පෑමක් ඇති කළ ශ්‍රී ලංකා ගුවන් සමාගම වැනි රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ කිරීම් ගැනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ ප්‍රධානියා කරුණු දක්වයි.

ඒ සඳහා ගත යුතුව ඇති ආර්ථිකමය ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් විස්තර කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ ප්‍රධානී ටොඩ් ෂ්නයිඩර් 'ඉහත කී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ අනාගතයේ ඇති විය හැකි විචලනයන්ට ඔරොත්තු දීමේ හැකියාව ගොඩ නගා ගැනීම සඳහා සහයෝගය දෙන බවයි පවසන්නේ.

සපයනු ලබන විස්තීර්ණ ණය පහසුකම ශ්‍රී ලංකාවට සිය ආර්ථික තත්වය ඉහළ නංවා ගැනීමට ද අත් කර ගත හැකි ඉහළ ආර්ථික වර්ධනය පූර්ණ වශයෙන් ලඟා කර ගැනීමට ද උපකාරී වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ ප්‍රධානී ටොඩ් ෂ්නයිඩර් සඳහන් කරයි.