වකුගඩු රෝගීන්ට රුධිරය පිරිසුදු කිරීමේ 'යන්ත්‍ර 500 ක්'

Image copyright You Tube
Image caption කෘෂි රසායන ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරිකකුඩා එම වැඩමුළුවට සහභාගී වීම පිළිබඳව විරෝධය පළ කළ බවයි වෛද්‍ය චන්න ජයසුමන පවසන්නේ

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන්ට ආධාර කිරීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආරම්භ කරන ලද අරමුදලට මේ වනවිට ජනතාවගෙන් රුපියල් මිලියන 500 ක ආධාර ලැබී තිබෙන බව වකුගඩු නිවාරණය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.

ජනතාවගේ ඒ මුදල් යොදාගෙන වකුගඩු රෝගීන් වෙනුවෙන් අනුරාධපුර රෝහල අසල විශ්‍රාම ශාලාවක් ඉදි කර, එය ජාතික වකුගඩු රෝග මධ්‍යස්ථානය ලෙසින් ක්‍රියාත්මක කිරීම සිය බලාපොරොත්තුව බවත් බලකායේ ප්‍රධානී අසේල ඉද්දවල බීබීසී සංදේශයට පැවසීය.

"අනුරාධපුරේ රෝගීන් ඇවිල්ල ගස් යට, බංකු උඩ නිදාගන්නේ," ඔහු පැවසීය.

"ඒ හා සමාන විශ්‍රාම ශාලාවක් මහනුවර රෝහලේත්, මාලිගාවත්ත වකුගඩු රෝහලේත් ඇති කරනවා."

'රෝගීන් ගස් යට'

එමෙන්ම දැනට ශ්‍රී ලංකාවේ රෝහල්වල තිබෙන වකුගඩු පිරිසුදු කිරීමේ යන්ත්‍ර 300 ට තවත් යන්ත්‍ර 500 ක් එක් කිරීම පිණිස ජනාධිපතිවරයාගේ උපදෙස් ප්‍රකාර මේ වසරේ අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

Image copyright Empics
Image caption වකුගඩු රෝගීන් සඳහා වූ වෛද්‍ය සායනයක්

"නමුත් අවාසනාවකට ඒ සඳහා පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයක් පවතිනවා. ඒ නිසා ඔවුන් පුහුණු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් දියත් කරනවා."

අසේල ඉද්දවල ඒ බව කියා සිටියේ විශේෂයෙන්ම කෘෂිකාර්මික ප්‍රදේශවල පැතිර යමින් පවතින වකුගඩු රෝගය නිවාරණය කිරීම සම්බන්ධයෙන් කොළඹදී නිමා වූ තුන් දින වැඩමුළුව පිළිබඳව අදහස් දක්වමින්.

කෘෂි රසායන ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරික ප්‍රධානියකුටද එම වැඩමුළුවට සහභාගි වන මෙන් ආරාධනා කිරීම පිළිබඳව සමුළුවේදී සහ එයට පෙරාතුවත් විරෝධය පළ කළ බවයි, රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ.

එමෙන්ම ලන්ඩනයේ ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයකු වන ආචාර්ය කමල් ගම්මම්පිල සහ කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රියානි පරණගම සහ මාලා අමරසිංහ වැනි විශේෂඥයන්ට එයට ආරාධනා නොකිරීමද ආචාර්ය ජයසුමනගේ විවේචනයට ලක් විය.

චීන-ශ්‍රී ලංකා පර්යේෂණය

කෙසේ නමුත් ගැටලුවට අදාළ සෑම පාර්ශවයකම අදහස් ලබාගෙන වකුගඩු රෝගයට තිරසාර විසඳුමක් ලබාදීම ජනාධිපති කාර්ය සාධක බලකායේ අරමුණ බවයි, අසේල ඉද්දවල අවධාරණය කරන්නේ.

"එහෙම භේදයකින් කටයුතු කරන්න අපිටවත් ලෝක සෞඛ්‍ය සංවිධානයටවත් අවශ්‍යතාවයක් තිබුන කියල මම විශ්වාස කරන්නේ නැහැ," ඔහු පැවසුවේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ අදහස් දක්වමින්.

Image copyright AFP
Image caption කෘෂි රසායන භාවිතය වකුගඩු රෝගයට හේතුවක් වී ඇති බවයි පැවසෙන්නේ

තෙදින සමුළුවේ නිර්දේශ සහ නිගමණ ඉදිරිපත් කිරීම පිණිස ලබන මැයි මස 10 වැනි දින පැවැත්වෙන උත්සවය සඳහා සියලුම පාර්ශවයන්ට ආරාධනා කළ යුතු යයි තමන් අවධාරණය කළ බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර පසුගියදා ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක නිගමනය වී තිබුණේ වකුගඩු රෝගය සම්බන්ධයෙන් තවත් වසර පහක් පමණ පුළුල් පර්යේෂණ පැවැත්විය යුතු බවයි. ඒ සමස්ත පර්යේෂණය වෙනුවෙන් මූල්‍යාධාර සපයනු ලබන්නේ චීනය විසින්.

කෙටි කාලීන පියවර

එම පර්යේෂකයන් කණ්ඩායමත් කොළඹ පැවති සමුළුවට සම්බන්ධ කර නොගත්තේ මන්දැයි සංදේශය විමසූ අවස්ථාවේ අසේල ඉද්දවල කියා සිටියේ, සියලු දෙනා එක් වැඩමුළුවකට එක් කරගැනීමට තමන්ටද දැඩි අවශ්‍යතාවයක් තිබුන බවයි.

"නමුත් කාලවෙලාවේ ප්‍රශ්නයක් මත මට ඒක කරගන්න බැරි වුනා. මමත් විශ්වාස කරනවා ඒ දෙක එකට පැවැත්වුවා නම් වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කියල."

රෝගයට තිරසාර ප්‍රතිකාරයක් සොයා පර්යේෂණ පවත්වන අතරවාරයේම රෝගීන්ට සහන සැලසීමේ ක්‍රියාදාමයක්ද දියත්ව තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

බහුලව රෝගීන් වෙසෙන පලාත්වල ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීම සහ ඔවුන්ට වසවිසෙන් තොර ආහාර ලබාදීම ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රමුඛත්වය හිමි වී තිබෙන කරුණු දෙකක්.

යහපත් පරිසරයක් නිර්මාණය කිරීමත්, මත්ද්‍රව්‍ය නිවාරණයත් ඒ හා සබැඳුනු අනෙක් ප්‍රමුඛතා බවත් වකුගඩු නිවාරණය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී අසේල ඉද්දවල වැඩිදුරටත් සඳහන් කළේය.

බීබීසී යෙන්