ආසන සංවිධායකයන් තේරීමේදී පැටිකිරිය බලන්නේ නැහැ - එස්.බී

අමාත්‍ය එස්බී දිසානායක
ඡායාරූප ශීර්ෂ වැකිය,

'ගහලා තියනවා නම්, අපි ඉදිරියේදී ඔහුට කියනවා සමාව ගන්න කියලා'

පසුගිය ජනාධිපතිවරණය සමයේ කුඹුක්ගැටේ නගරයේදී 'අලුත් පරපුරේ' කලාකරුවන් පිරිසකට පහර දුන් බවට චෝදනා ලබන පුද්ගලයකුට ආසන සංවිධායක ධුරයක් ලබා දීම සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්බී දිසානායක යුක්ති සහගත කරයි.

සංවිධායක කටයුතු සඳහා ඇති හැකියාව සහ ජන පදනම දෙස අවධානය යොමු කොට ඔහුට ආසන සංවිධායක ධුරය ලබා දුන් බව අමාත්‍යවරයා කියා සිටියේ මහනුවර පැවති හමුවක් අමතමින්.

'අපි දන්නෙත් නැහැ, අපි සංවිධායකයෝ තෝරන කොට, මෙයා රාළහාමි කෙනෙකුට ගහලා තියනවද? මෙයා කිරි අත්තට ගහලා තියනවද? ගමේ නැටුම් ගුරුන්නාන්සේට ගහලා තියනවද?, එහෙම බලලා නැහැ' අමාත්‍යවරයා කියා සිටියේය.

'ගහලා තියනවා නම්, අපි ඉදිරියේදී ඔහුට කියනවා සමාව ගන්න කියලා' අමාත්‍යවරයා සඳහන් කළේය.

ගාල්ලේ පැවැත්වීමට නියමිත මැයි දින රැළිය සාර්ථක කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවලක් ක්‍රියාත්මක කොට ඇති බව පවසන අමාත්‍යවරයා මැයි දිනයෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සන්ධානය අභ්‍යන්තරයේ පවතින අර්බුදය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනු ඇති බවයි කියා සිටියේ.

මැයි දින රැළිය සඳහා රාජ්‍ය සම්පත් යොදා ගන්නා බවට විපක්ෂය නගන චෝදනා බැහැර කරන අමාත්‍යවරයා ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මහජනතාවගෙන් මුදල් පරිත්‍යාග ලැබුණු බවයි සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එසේ කළත් පැවති පාලනයේ ප්‍රධාන අමාත්‍යවරයෙක් ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය සඳහා ''පසුගිය රජයේ සම්පත් බෙදමින්'' සිටින බවත් ඔහු කියා සිටියේය.

මේ අතර තම සංවිධානයේ කලාකරුවන් පිරිසකට පහර දුන් පුද්ගලයාට ආසන සංවිධායක ධුරයක් ලබා දීම පිළිබඳ 'අලුත් පරපුර' සිය අප්‍රසාදය පළ කරයි.