ෆෙඩරල් යෝජනාව: විග්නේශ්වරන් ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි

උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන්
ඡායාරූප ශීර්ෂ වැකිය,

උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන්

උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් ඇතුළු සිව් දෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කොට ඇත.

මැයි මස 12, 13 හා 17 යන දින වලදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි කොට ඇති සෙසු පුද්ගලයන් වන්නේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ සිවඥාණම් සහ උතුරු පළාත් සභාවේ ලේකම් එස්. පද්මනාදන් යන තිදෙනායි.

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ෆෙඩරල් ආකෘතියේ පාලනයක් ඇති කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම සඳහා උතුරු පළාත් සභාව තුල යෝජනාවක් සම්මත කරනු ලැබීම මගින් රට බෙදීමට හා ත්‍රස්තවාදය යළි ඉස්මතු කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොණු කරන ලද පෙත්සමකට අනුවයි ඉහත කී නොතීසි නිකුත් කරනු ලැබීම සිදු කර තිබෙන්නේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපිත කළ යුතු යයි පැවසෙන යෝජනාව පසුගියදා උතුරු පළාත් සභාව තුළ වැඩි ඡන්දයෙන් සම්මත විය.

එකී යෝජනාව රජය වෙත ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔවුන් රටේ ඒකීය භාවයට පටහැණිව කටයුතු කොට ඇති බවයි පෙත්සමේ සඳහන් වන්නේ.

ඒ පිළිබද විමසූ විට උතුරු පළාත් සභාවේ සභාපති සීවීකේ සිවඥාණම් කියා සිටියේ අදාළ චෝදනා සම්බන්ධයෙන් දැනටමත් නීතිඥවරුන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

එවැනි යෝජනාවක් පළාත් සභාවට ඉදිරිපත් කරන ලද්දේ රට බෙදීමේ අවශ්‍යතාවක් මත හෝ එවැනි චේතනාවක් මත නොවන බව කී සභාපතිවරයා අනාදිමත් කාලයක සිට උතුරු සහ නැගෙනහිර පළාත් දෙක එකට එකතු වී තිබුණු බවයි පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත්, අදාළ නියෝගයට ගරු කරමින් තමා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින බවත් උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ සිවඥාණම් පවසයි.