වකුගඩු ජාවාරම: මිරිහාන පොලිස් ස්ථානාධිපතිට නොතීසි

kidney suspects
ඡායාරූප ශීර්ෂ වැකිය,

වකුගඩු පරිත්‍යාග කල ඉන්දීය ජාතිකයින් ගේ සැත්කම් ලංකා හොස්පිටල් සහ වෙස්ට්‍රන් හොස්පිටල් යන පුද්ගලික රෝහල්වල සිදුකර ඇති බවයි පොලීසිය කියා සිටියේ

මිරිහාන විශේෂ කඳවුරේ රඳවා සිටි ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහල්වලදී සිදු කළ වකුගඩු සැත්කම් සම්බන්ධ නඩු විභාගයට අදාළ එක් ඉන්දීය ජාතික සැකකරුවෙකු පලායාම පිලිබදව පරීක්ෂණ පවත්වන බව අදාළ පැමිණිල්ල අද කැදවූ අවස්ථාවේදී මිරිහාන පොලීසිය ප්‍රකාශ කළේය.

මිරිහාන කඳවුර ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ මගින් පාලනය වන අතර ඊට ආරක්ෂාව සැලසීම මිරිහාන කඳවුර මගින් සිදු කරන බවයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේ.

ගමන් බල පත්‍ර

අත් අඩංගුවේ පසුවන ඉන්දීය ජාතිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර චීන ජාතික කාන්තාවක සතුව පවතින බවට තොරතුරු හෙළිවී ඇති බව කී පොලිසිය එම චීන කාන්තාව අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බවද ප්‍රකාශ කළේය.

එම කරුණ සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මෙම පලායාම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිට කරුණු පැහැදිලි කරන මෙන් ආගමන සහ විගමන පාලක මෙන්ම මිරිහාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියම කල බවයි විත්තියේ නීතිඥ ලක්ෂාන් ඩයස් ප්‍රකාශ කළේ.

වකුගඩු සැත්කම්

ඒ අතරම 2014 සහ 2015 වසරවල ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහල් වලදී සිදුකළ වකුගඩු සැත්කම් පිලිබඳ පුර්ණ වාර්තාවක් පොලිසිය වෙත ලබාදෙන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියම කළේය.

පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී පොලිසිය අධිකරණයට කියා සිටියේ දැනට අත් අඩංගුවේ පසු වන වකුගඩු පරිත්‍යාග කල ඉන්දීය ජාතිකයින් ගේ සැත්කම් ලංකා හොස්පිටල් සහ වෙස්ට්‍රන් හොස්පිටල් යන පුද්ගලික රෝහල්වල සිදුකර ඇති බවයි.

එම සැත්කම් වලට අදාළ වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගෙන ඇති බව කී පොලිසිය එම වාර්තාවල සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි කියා සිටියේ.

ඉදිරිපත් වු කරුනු සලකා බැලු අධිකරණය සැකකාර ඉන්දීය ජාතිකයින් හත් දෙනා ලබන 16 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.