වැඩි කළ වැට් බදු අද සිට

වැට් සංශෝධනය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

'එදිනෙදා ජන ජීවිතයට අහිතකර බලපෑම් ඇති වන සාධක අප හැකි තාක් ඉවත් කොට තිබෙනවා'

අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් භාණ්ඩ හා සේවා සඳහා වැට් බදු වැඩි කිරීම් සඳුදා සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

11% සිට 15% දක්වා වන වැට් බදු වැඩි වීම ඖෂධ හා අධ්‍යාපන සේවා සඳහා බල නොපාන බව අමාත්‍යවරයා කියා සිටියේ ඉරිදා මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී.

'එදිනෙදා ජන ජීවිතයට අහිතකර බලපෑම් ඇති වන සාධක අප හැකි තාක් ඉවත් කොට තිබෙනවා. මේ බදු ඉහළ නැංවීම එක් විදියකින් සියයට හතරක රාජපක්ෂගේ දූෂණ බද්දක්' ඔහු සඳහන් කළේය.

පෞද්ගලික අංශයේ විදුලි සංදේශ සේවා සහ සෞඛ්‍ය සේවා සඳහා වැට් බදු සංශෝධනය ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ජනපතිගෙන් ප්‍රතිඥාවක්

පසුගිය ආණ්ඩු සමයේ ලබා ගත් අධික ණය හේතුවෙන් වැට් බද්ද වැඩි කිරීමට සිදු වූ බව ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු භාර නියෝජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා මීට ඉහතදී සඳහන් කළේය.

මේ අතර ජනතාව මත බර පැටවෙන ආකාරයේ බදු පැනවීමක් කිසි විටෙක සිදු නොකරන බවත් එවන් බදු පැනවීමට යෝජනා කරන ආර්ථික විශේෂඥයන්ගේ සේවය රජයට අවශ්‍ය නොවන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා අවධාරණය කළේය.

මුදල් අච්චු ගැසීමට වඩා බදු ඉහළ නැංවීමෙන් ආර්ථිකයට සාපේක්ෂව අඩු බලපෑමක් සිදු වන බවයි 'ඉකොනොමික්‌ නෙක්ස්ට්' මූල්‍ය සඟරාවේ කර්තෘ අසන්ත සිරිමාන්න පසුගියදා සංදේශයට කියා සිටියේ.