කිරුලපන රැලියේ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 'විනය කමිටුවට'

Image copyright Getty Images
Image caption ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය කිරුලපනදී පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්

කිරුලපන පැවැත්වුණු මැයි දින රැස්වීමට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් ගත යුතු පියවර කවරක්ද යන්න පිළිබඳව තීරණය කිරීම පක්ෂයේ විනය කමිටුවට පවරන බව මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහභාගි වන පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගනු ලබන බවයි පක්ෂයේ නායකයන් මැයි දිනයට පෙරාතුව අනතුරු අඟවා තිබුණේ.

එම අනතුරු ඇඟවීම් නොතකා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සහ හිටපු ඇමතිවරුන් විශාල පිරිසක් කිරුලපන රැලියට සහභාගි වී සිටියහ.

"ඒකෙ කිසිම වෙනසක් වෙලා නෑ. ඉතාමත්ම පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ඉතාමත් නොබියව අපි ගන්නවා," බවයි දුමින්ද දිසානායක අමාත්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

Image copyright Ministry of Agriculture, Sri Lanka
Image caption 'මන්ත්‍රීකම අයින් කරනවද එහෙම නැත්නම් තහනමක් කරනවද, පරීක්ෂණයක් කරනවද කියන කතාව මේ වෙලාවේ මට කියන්න පුළුවන් කමක් නෑ'

"මධ්‍යම කාරක සභාවට අපි ඉදිරිපත් කරනවා පක්ෂයේ මැයි දින කමිටුවේ වාර්තාව. ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන්කම තියෙනවා සහභාගි වුනු අය, සහභාගි නොවුණු අය කවුද කියලා."

කෙසේ නමුත් ගාල්ලේ සමනල පාලම අසල පැවැත්වුණු පක්ෂයේ නිල මැයි දින රැලියට සහභාගි නොවූ මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රාදේශීය නායකයන් පිළිබඳව ගත යුතු පියවර කවරේදැයි මේ මොහොතේ තමන්ට කිසිවක් කිව නොහැකි බවයි පක්ෂයේ මහ ලේකම්වරයා පවසන්නේ.

"මන්ත්‍රීකම අයින් කරනවද එහෙම නැත්නම් තහනමක් කරනවද, පරීක්ෂණයක් කරනවද කියන කතාව මේ වෙලාවේ මට කියන්න පුළුවන් කමක් නෑ," අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර