සේරුවිල නාහිමියන්ගේ දේහයේ අයිතිය ගැන මතභේද

Image copyright Silumina.lk
Image caption සේරුවිල සරණකිත්ති නාහිමියන්, යුද ගැටුම් සමයේ සිංහල දෙමළ සමගිය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි බෞද්ධ නායකයෙක්

සේරුවිල රජ මහා විහාරස්තානාධිපති සේරුවිල සරණකිත්ති නාහිමියන් අපවත්වීමට හේතුව අක්මාවේ ඇතිවූ පිළිකාවක් සහ සිරෝසිස් රෝගය බව අධිකරණ වෛද්‍ය නිලධාරීන් සනාථ කර ඇතැයි පොලිසිය පවසයි.

නාහිමියන්ගේ මරණය පිළිබඳව ඇතැම් පාර්ශව සැක පහල කිරීම හේතුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගත් බවත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය සඳහන් කළේය.

පොලිසිය ඒ බව සඳහන් කළේ, සේරුවිල සරණකිත්ති නාහිමියන් අදාහන කටයුතු සිදුකිරීමට අවසර දෙන මෙන් පාර්ශව දෙකක් අධිකරණය හමුවේ කළ ඉල්ලීම් සම්බන්ධ විභාගය හමුවේ කරුණු පැහැදිලි කරමින්.

'කණගාටුයි'

කොටපොල අමරකිත්ති හිමියන් සහ සේරුවිල විහාරයේ චෛත්‍යවර්ධන සමිතිය යන පාර්ශව දෙකම ඒ සඳහා අවසර ඉල්ලා තිබුණි.

නාහිමියන්ගේ දේහයේ අයිතිය වෙනුවෙන් පාර්ශව දෙකක් ඉදිරිපත් වීම පිළිබඳව බෞද්ධයෙකු වශයෙන් කණගාටු වන බව විවෘත අධිකරණය ඉදිරියේ සඳහන් කළ කොළඹ මහේස්ත්‍රාත්වරයා, ගැටලුව සමථයකින් විසඳා ගැනීම සුදුසු බවත් සඳහන් කළේය.

එබැවින් ආදාහන කටයුතු ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් සිදුකිරීමට නියෝග කළ අධිකරණය, නාහිමියන්ගේ දේහය උන් වහන්සේගේ සහෝදරයා වෙත මුදාහරින ලෙසද නියෝග කළේය.

ඒ අනුව අවසන් කටයුතු සිදුකිරීම පිණිස ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කෙරෙන කමිටුවට කොටපොල අමරකිත්ති හිමියන්ගේ පාර්ශවයේ සාමාජිකයින් දෙදෙනෙකු සහ චෛත්‍යවර්ධන සමිතියේ සාමාජිකයින් දෙදෙනෙකු පත්කළ යුතු බවත් අධිකරණය තීන්දු කළේය.

ජාතික සමගිය

ත්‍රිකුණාමල ප්‍රදේශයේ ජාතීන් අතර සංහිඳියාව උදෙසා විශාල මෙහෙයක් සිදු කළ සේරුවිල සරණකිත්ති නාහිමියන්, යුද ගැටුම් සමයේ ජාතික සමගිය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි බව එහිමියන් සමීපව ඇසුරු කළ කන්තලේ මාධ්‍යවේදී ආර්ජී ධර්මදාස පෙන්වා දෙයි.

එල්ටීටීඊ සංවිධානය විවේචනය කළ නමුත්, එහිමියන් කිසි දිනෙක දෙමළ ජනතාවට එරෙහි වී නැති බවයි ඔහු පවසන්නේ.

සටන් විරාමය සමයේ ප්‍රධාන වශයෙන් ස්කැන්ඩිනේවියානු රටවල ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ සිංහල බෞද්ධ ජනතාව නියෝජනය කළේ උන්වහන්සේ විසිනි.

කෙසේ නමුත් සේරුවිල රජ මහා විහාරස්ථානයට අයත් දේපොළ සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණයේ නඩුවක් විභාග වන අතර, කවුරුන් විසින් හෝ තමන් වහන්සේට වස දී මරා දමන්නට ඉඩ තිබෙන බවට උන්වහන්සේ තුල ප්‍රබල බියක් පැවති බවත් බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු ආර්ජී ධර්මදාස වැඩිදුරටත් පැවසීය.

බීබීසී යෙන්