අධික උෂ්ණත්වය: පාසල් කලින් වැසීම 'වහාම නවත්වන්න'

Image copyright Getty Images
Image caption දහවල් 12 ට පාසල් නිමාකිරීම මගින් දරුවන් සුර්ය රශ්මිය සෘජුවම නිරාවරණය වන බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති

ශ්‍රී ලංකාව පුරා දැනට පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් උතුරු මැද සහ නැගෙනහිර පලාත්වල පාසල් දහවල් 12 ට අවසන් කිරීමට ගෙන ඇති තීරණය වහාම අත්හිටුවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අධික උෂ්ණත්වය හමුවේ පාසල් පවත්වාගෙන යාම සදහා කළ හැකි නිර්දේශ ඉදිරිපත් කරන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය කළ ඉල්ලීමක් ප්‍රකාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් 10 කගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමකින් අනතුරුව අදාළ නිර්දේශ ඉදිරිපත් කරන ලද බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

දහවල් 12 ට පාසල් නිමාකිරීම මගින් දරුවන් සුර්ය රශ්මිය සෘජුවම නිරාවරණය වන බව පෙන්වා දෙන විශේෂඥයන් පිරිස, හිස් ආවරණ පැළඳීම, ටයි භාවිතය අවම කිරීම, දරුවන්ට පිරිසිදු පානීය ජලය ලබාදීම, එළිමහනේ සිදු කරන ක‍්‍රියාකාරකම් නතර කිරීම, අමතර විවේක කාලයක් ලබාදීම ඇතුළු නිර්දේශ කිහිපයක්ම ඉදිරිපත් කර තිබේ.

Image caption දහවල් 12 ට පාසල් නිමාකිරීම මගින් දරුවන් සුර්ය රශ්මිය සෘජුවම නිරාවරණය වන බව විශේෂඥයෝ පෙන්වා දෙති

"ජල බෝතල් නිවසින් ගෙන ආ යුතුයි; අධික උෂ්ණත්වය සමග විජලනය ඇතිවීමට හේතු විය හැකි බැවින් අධික සීනි සහිත පැණි බීම සහ ශිත කළ බීම වර්ග භාවිතයෙන් වැළැකිය යුතුයි; ගම්බද පාසල්වල ටකරන් මඩු පවතින්නේ නම් ඒවා පොල් අතු සහ පිදුරු දමා ආවරණය කළ යුතුයි," යනුවෙන්ද එම නිර්දේශවලට ඇතුලත්.

පිරිසිදු පානීය ජලය නොමැති පාසල්වලට වහාම පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම තවත් නිර්දේශයක්.

සියළුම පාසල්වල ජනේල විවෘත කර ඉගැන්වීමේ කටයුතු කළ යුතු බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඇති උෂ්ණත්වය වැඩි දිස්ත‍්‍රික්කවල පාසල් පෙ.ව 9.00 සිට පස්වරු 3.00 දක්වා පමණක් පැවැත්වීමත් සෞඛ්‍ය විශේෂඥයන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර තිබෙන නිර්දේශ අතර වේ.

කළු ඇදුම්වලට උෂ්ණත්වය අවශෝෂණය කර ගන්නා බැවින්, මුස්ලිම් පාසල් දරුවන් කළු ඇදුම් අදින්නේ නම් එය නතර කර ඔවුන්ගේ ආගමට සුදුසු වෙනත් ඇදුමක් ඇඳිය යුතු බවත් වෛද්‍ය විශේෂඥවරුන්ගේ නිර්දේශයයි.

Image copyright Getty Images
Image caption කළු ඇදුම්වලට උෂ්ණත්වය අවශෝෂණය කර ගන්නා බැවින්, මුස්ලිම් පාසල් දරුවන් කළු ඇදුම් අදින්නේ නම් එය නතර කළ යුතු බව තවත් නිර්දේශයක්

පවතින උෂ්ණාධික කාලගුණය පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල කියා සිටියේ එයට දිය හැකි හොඳම විසඳුම හැකි තරම් දියර වර්ග පානය කිරීම බවයි.

මේ වසරේ අන්තර් මෝසම් වැසි සති කිහිපයකින් පමාවීම පවතින අධික උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකත්, තුනත් අතර ප්‍රමාණයකින් ඉහල යාමට ප්‍රධානම හේතුව බව සඳහන් කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මේ මාසය මැද භාගය වන විට උෂ්ණත්වය යළිත් සාමාන්‍ය මට්ටමට පහල වැටෙනු ඇති බවත් පැවසීය.

"නිරිත දිග සුළං ලංකාව හරහා ආවහම මේ අධික උෂ්ණත්ව තත්වය මග හැරී යාවි කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ," ඔහු පැවසීය.

පාසල් අවසන්වීමෙන් අනතුරුව නිවසේදී දරුවන් ස්නානය කිරීමට පෙළඹවිය යුතු බව පවසන සෞඛ්‍ය විශේෂඥ පිරිස එමෙන්ම අධික උෂ්ණත්වය හේතුවෙන් හටගන්නා නොසන්සුන්තාවය මත කෙරෙන ක‍්‍රියාකාරකම්වලට දඬුවම් කිරීමෙන් වලකින මෙන් ගුරු දෙගුරුන් දැනුවත් කළ යුතු බව වැඩිදුරටත් සඳහන් කරයි.

බීබීසී යෙන්