HIV භීතිය සහ අධිකරණය: 'දකුණු ආසියාවේ පළමු තීන්දුව'

HIV ආසාදිතයකු බවට සැක කිරීම හේතුවෙන් දරුවාට ගමේ පාසලට ඇතුලත් වීමේ වරම අහිමි කෙරුණි
Image caption HIV ආසාදිතයකු බවට සැක කිරීම හේතුවෙන් දරුවාට ගමේ පාසලට ඇතුලත් වීමේ වරම අහිමි කෙරුණි

එච්අයිවී ආසාදිතයන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් ආරක්ෂා කරන මෙන් අධිකරණ තීන්දුවක් දුන් පළමු දකුණු ආසියානු රට ශ්‍රී ලංකාව බව පවසන එක්සත් ජාතීන්ගේ සංවිධානය, එම 'ඓතිහාසික තීන්දුව' ඉහලින් අගයන බවත් සඳහන් කරයි.

UNAIDS එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් මර්ධන වැඩසටහන ඒ බව පවසන්නේ, එච්අයිවී ආසාදිතයකු බවට පැතිර ගිය අනියත බියක් හේතුවෙන් තම දරුවාට පාසලක් ලබා දීම ප්‍රතික්ෂේප කළ බවට චෝදනා කරමින් කුලියාපිටිය ප්‍රදේශයේ මවක් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව ප්‍රතිචාරය පල කරමින්.

සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය සහතික කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රජය බැඳී සිටින බවයි, නඩු විභාගය අතරවාරයේ අදහස් දක්වමින් අගවිනිසුරුවරයා කියා සිටියේ.

එබැවින් එච්අයිවී ආසාදිතයන්ට අසාධාරණයක් නොවන පරිදි ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රජය පියවර ගත යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය රජයට අවධාරණය කළේය.

Image caption සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය සහතික කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රජය බැඳී සිටින බව අධිකරණය තීන්දු කළේය

UNAIDS ආයතනයේ සහ Positive Women's Network ආයතනයේ ආධාර මත එම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කළ කුලියාපිටියේ මව, සිය දරුවාගේ අධ්‍යාපන අයිතිය රැකදීම පිණිස ඉදිරිපත් වූ සියලු දෙනාට සිය ස්තුතිය පුද කරන්නීය.

"මගේ පුතාගේ සිහිනය දවසක දොස්තර කෙනෙක් වෙන්න ඉතින් එයා එච්අයිවී විශේෂඥයෙක් වේවි කියල මම බලාපොරොත්තු වෙනවා," ඇය කියා සිටියාය.

අධ්‍යාපනය පමණක් නොව අන් සියලු ක්ෂේත්‍රවලදීත් එච්අයිවී ආසාදිතයන් නොසලකා හරිනු ලැබීමට එරෙහිව පියවර ගැනීම සඳහා ඉහත කී තීන්දුව මගින් පූර්වාදර්ශයක් සපයා ඇති බවත් UNAIDS ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කෙරුණු දිනය 'සමාජ සාධාරණත්වය සම්බන්ධ ශ්‍රේෂ්ඨ දිනයක්' බවයි ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන UNAIDS ආයතනයේ ආසියා සහ ශාන්තිකර කලාපය භාර අධ්‍යක්ෂ ස්ටීව් ක්‍රව්ස් පවසන්නේ.

Positive Women's Network ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ විධායක අධ්‍යක්ෂිකා ප්‍රින්සි මංගලිකා එය විග්‍රහ කරන්නේ ශ්‍රී ලංකාවේ එච්අයිවී ආසාදිතයන් කෙරෙහි තැබූ ප්‍රගතිශීලී පියවරක් ලෙසින්.

2014 වසරේ ඇස්තමේන්තු ප්‍රකාර දරුවන් 100 කට ආසන්න පිරිසක් ඇතුළු 3300 ක් පමණ ශ්‍රී ලංකාවාසීන් එච්අයිවී ආසාදිතයෝය.

බීබීසී යෙන්