තොරතුරු පනත: 'ශ්‍රේෂ්ඨාධිකරණ යෝජනා පනත දුර්වල කරන්නේ නැහැ'

නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන
Image caption නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරනු ලබන සංශෝධන 'තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත' ශක්තිමත් කිරීමට උපකාර වන බව ජනමාධ්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසයි.

තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතේ අඩංගු වගන්ති කීපයක් ව්‍යවස්ථාවට පටහැණි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ අඟහරුවාදා කථානායකවරයාට දන්වනු ලැබ තිබිණි.

ඉහත කී වගන්ති සංශෝධනය නොකොට අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක සහාය ලැබිය යුතු බවයි කථානායක කරු ජයසූරිය එහිදී ප්‍රකාශ කළේ.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී ඇති වගන්ති සංශෝධනය කොට තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

'අපිට පෙනී ගියා ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කරන සංශෝධන මේ පනත ශක්තිමත් කරන්නයි උපකාර වන්නේ කියලා . පනත දුර්වල කරන්න නෙවෙයි. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනා පිළි අරගෙන පනත දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා'

තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අදාළ පනතට අනුමැතිය ලැබිය යුතු බව තීන්දු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා පෙත්සම් දෙකක් ඉදිරිපත් වී තිබිණ.

'මේ පනත පාර්ලිමේන්තුවේ පළමු වර කියවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් මේ රටේ පුරවැසියන් සහ ආයතන ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒක අපි හොඳ තත්වයක් හැටියටයි දකින්නේ' ජනමාධ්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්