ගහගත් මන්ත්‍රීවරුන් දෙදෙනකුට දඬුවම් නිර්දේශ කෙරෙයි

Image caption නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා යුද හමුදා භටයන් වෙනුවට පොලිසිය යොදවනු ලැබීම මුල් කර ගනිමින් ඊයේ අඟහරුවාදා (03) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුම පිළිබඳව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල සහ නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩයික්කලනාදන් විසින් සකස් කරන ලද පරීක්ෂණ වාර්තාව කතානායක කරු ජයසූරිය වෙත අද (04) භාර දුන් අතර මන්ත්‍රීවරුන් දෙදෙනකුට එරෙහිව උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා මෙන් එමගින් නිර්දේශ කරනු ලැබ ඇත.

පාලිත තෙවරප්පෙරුම සහ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරුන් දෙදෙනායි එම වාර්තාව මගින් නම් කරනු ලැබ තිබෙන්නේ.

පාර්ලිමේන්තුව තුළ කලහකාරී ආකාරයට හැසිරුණ එම මන්ත්‍රීවරු දෙදෙනා පිළිබඳව පාර්ලිමේන්තුව රැස් වන ප්‍රථම අවස්ථාවේදීම තීන්දුවක් ගත යුතු බවයි නියෝජ්‍ය කතානායකවරයා සහ කාරක සභා සභාපතිවරයා නිර්දේශ කරන්නේ.

ඒ හැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන බන්ධුල ගුණවර්ධන සහ පියල් නිශාන්ත ද සිල්වා කතානායකවරයාට අවනත නොවී අශෝභන අන්දමින් මූලාසනයට දෝෂාරෝපණය කිරීම අනුචිත ක්‍රියාවක් වන බවත් ඉහත කී වාර්තාවේ දැක්වෙයි.

එම මන්ත්‍රීවරුන් තිදෙනා අශෝභන අන්දමින් මූලාසනයට දෝෂාරෝපණය කිරීම සහ බැණ වැදීම අනුචිත බවයි එමගින් පැවසෙන්නේ.

Image caption ගැටුම සිදු වූ සභා ගර්භය

අදාළ සිද්ධියේ දී පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරන වාර්තාව ඉදිරි කාලයෙහි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ කීපයක් ද කතානායකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව රැස් වෙමින් තිබියදී සභා ගර්භය මැදට පැමිණ අශෝභන ආකාරයට හැසිරීම කලක පටන් ම සිදු වෙන බවත් නියෝජ්‍ය කතානායක වාර්තාවේ දැක්වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගර්භය තුළ ගුටි ඇන ගනිද්දී පාසල් ශිෂ්‍යයන් රැසක් ද මහජන ගැලරියේ වූහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර