පාර්ලිමේන්තු ගුටිකෙළිය: 'පොලිස් පරීක්ෂණයක්'

'කවුරුත් දැක්ක කොහොමද සිද්ධිය ඇති වුනේ කියලා'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

'කවුරුත් දැක්ක කොහොමද සිද්ධිය ඇති වුනේ කියලා'

පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර සිදු වූ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් සිදු කරන බව ආණ්ඩුව පවසයි.

බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ අදාළ පරීක්ෂණවලින් අනතුරුව වරදකරුවන් කවුරුන්දැයි යන්න දැන ගැනීමට හැකි වනු ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විසින් කරන ලද පහර දීමකින් අනතුරුව ගැටුම්කාරී තත්වයක් ඇති වූ බවට ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනාව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රතික්ෂේප කළේය.

'බොරු චෝදනා එල්ල කරලා, ප්‍රශ්න ඇති කරලා දැන් එක් එක් අයට චෝදනා කරලා වැඩක් නැහැ. කවුරුත් දැක්ක කොහොමද සිද්ධිය ඇති වුනේ කියලා' අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන කියා සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතීතයේ ක්‍රියා කළ ආකාරය සිහිපත් කිරීම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට දිගින් දිගටම බාධා කළ බවයි.

'සරත් ෆොන්සේකා මහත්මයාට කතා කරන්න දෙන්නෙම නැහැ, ඊයෙත් වුනේ ඒකයි, ඒක තමයි ඒ අයගේ සංස්කෘතිය. කාටවත් කතා කරන්න දෙන්නේ නැහැ. ගහනවා, මරනවා ඒක තමයි ඒ අයගේ ක්‍රමය' නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මාධ්‍ය හමුවට එක් වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා පැවසුවේ පරීක්ෂණවලින් වරදකරුවන් වන මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ පක්ෂ කටයුතු කළ යුතු බවයි.