‘ඒකාබද්ධ විපක්ෂයේ නායකයා හැටියට මගේ අයිතිය’

Image caption ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන (පා.ම.)

පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ලජ්ජා විය යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් පිළි නො ගැනීමට තරම් තීරණ දෙන පාර්ලිමේන්තු සම්ප්‍රධාය යටපත් කරන අය මිස තමා නොවන බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසයි.

ඊයේ (03) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ගැටුම පෙරට යමින් තිබියදී කතානායක කරු ජයසූරිය කලහකාරී මන්ත්‍රීවරුන්ගේ හැසිරීම 'ලජ්ජා' සහගත බව පවසමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ නම ඒ සමඟ සඳහන් කරනු ලැබීම පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදීයි ඔහු එම ප්‍රකාශය කළේ.

'අපේ අයිතිවාසිකම් අහෝසි කරන්නට යටපත් කරන්න, අපට හානි කරන්න, දේශපාලන බොරු ප්‍රචාර ගෙන යන්න එයාට අයිතියක් තියෙනවා නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතර කණ්ඩායම නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ නායකයා හැටියට ඒ හැම දෙනාගේම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මටත් අයිතියක් තියෙනවා' පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටී.

පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුමට හේතු වුණේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ලවා කල් තබා සූදානම් කර ගත් ප්‍රකාශයක් කියවීමට උත්සාහ කිරීම නිසා වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසන්නේ.

මන්ත්‍රීවරුන් ඉහත කී අවස්ථාවේ හැසිරුණ ආකාරය සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායකවරයා සහ කාරක සභා සභාපතිවරයා විසින් කතානායකවරයාට භාර දී ඇති වාර්තාවේ ඔහුත් ඇතුළු තවත් මන්ත්‍රීවරුන් තිදෙනකුත් මූලාසනයට අවනත නොවී අශෝභන ආකාරයට හැසිරුණ බව සඳහන් වෙන බවට පළ වෙමින් පවතින මාධ්‍ය වාර්තා ගැන විමසූ විට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ එම අදහස තරයේ ප්‍රතික්ෂේප කරන අතර 'ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ලියා ගත හැකි' බවයි.

අපේ අයටත් තුවාලයි

උද්ඝෝෂණය කරමින් සිටි මන්ත්‍රීවරුන් සමඟ තමා කියා සිටියේ 'අගමැති වෙනුවට වෙනත් කෙනෙකුට උත්තර දිය නොහැකි බව' වන බවයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසන්නේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු තුවාල ලැබීම ගැන කනගාටු වෙන නමුත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තු ගැටුමේ දී තුවාල ලද බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මින් පෙරත් මෙවැනි දෝෂ දර්ශන වලට ලක් වූ ආකාරය සිහිපත් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් එක්තරා අවස්ථාවක මුළු රැයක් පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් සිදු කරන ලද විරෝධය ගැන විමසූ විට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ පමණක් නොව වෙනත් රටවල පාර්ලිමේන්තු ඉතිහාසයේ ද එවැනි අවස්ථා ඇති බවයි.