පාලිතට, ප්‍රසන්න රණවීරට සතියක පාර්ලිමේන්තු තහනමක්

Sri Lanka Parliament

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල සහ නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩයික්කලනාදන් විසින් සකස් කරන ලද පරීක්ෂණ වාර්තාවෙන් කරන ලද නිර්දේශයක් අනුවයි මෙම තහනම පනවා ඇත්තේ.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු සතියකට අත්හිටුවීමට තීරණය කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා යුද හමුදා භටයන් වෙනුවට පොලිසිය යොදවනු ලැබීම මුල් කර ගනිමින් අඟහරුවාදා (03) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුම පිළිබඳව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල සහ නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩයික්කලනාදන් විසින් සකස් කරන ලද පරීක්ෂණ වාර්තාවෙන් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා මෙන් නිර්දේශ කර තිබුණි.

ඒ අනුවයි අද දින කතානායක කරු ජයසුරිය කල ඉල්ලීමකට අනුව මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට පාර්ලිමේන්තු කටයුතු සතියකට අත්හිටුවීමේ යෝජනාව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සභාවට යෝජනා කළේ.

එයට සභාවේ අනුමැතිය හිමිවූ අතර ඒ අනුව හෙට සිට සතියක කාලයක් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට පාර්ලිමේන්තුව තහනම් වනු ඇත.

මෙම ගැටුමේදී තුවාල ලැබූ සන්දිත් සමරසිංහ මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලැබීමෙන් පසු ඊයේ ජාතික රෝහලෙන් පිටව ගියේය.