සුදු වෑන් සංස්කෘතිය යළි හිස ඔසවයි ද? -බ්‍රිටෝ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සුදු වෑන් සංස්කෘතිය යළි හිස ඔසවයි ද? -බ්‍රිටෝ

සුදු වෑන් සංස්කෘතිය මඳ විරාමයකින් අනතුරුව යළිත් හිස ඔසවන්නේද යන ප්‍රශ්නය මතු වී ඇති බව අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධානයේ කැඳවුම් කරු බ්‍රිටෝ ප්‍රනාන්දු පවසයි.

ඔහු මේ බව කියා සිටියේ දින කීපයකට පෙර සිදු වූ පුද්ගල පැහැර ගැනීම් වලට විරෝධය දැක්වීමට අද (05 වෙනිදා) අම්පාරේ පැවැත්වුන උද්ඝෝෂණය සම්බන්ධයෙන් බීබීසී සංදේශය කළ විමසීමකදීයි.

බ්‍රිටෝ ප්‍රනාන්දු වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේ එලෙස කිලිනොච්චිය, අම්පාර සහ මීගමුව ප්‍රදේශයේ දී පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයන් දින කිහිපයකට පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මතු වූ බවයි.

අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස් පති සහ දිස්ත්‍රික් ලේකම්වරයාට ලිපියක් ලබා දෙමින් මෙම නීති විරෝධී පොලිස් පැහැර ගැනීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස සිය සංවිධානය ඉල්ලා සිටි බවයි ඔහු පවසන්නේ.

'ඩොලර් අරගෙන'

මත් ද්‍රව්‍ය, අපරාධ හෝ වෙනත් ඕනෑම නීති විරෝධී කටයුත්තක් සම්බන්ධයෙන් සැක කටයුතු පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීම ගැන සිය සංවිධානයේ කිසිදු විරෝධතාවක් නොමැති බව පෙන්වා දුන් බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේ නැවතත් නීති විරෝධී පැහැර ගැනීම් හිස එසවීමට පමණක් සිය විරෝධතාව පළ කරන බවයි.

අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධානය ඔවුන්ගේ විරෝධය පල කරද්දී ඊට එරෙහි වූ උහන සුමන හිමියෝ සිය විරෝධයට හේතුව මෙසේ පැහැදිලි කළහ.

'අහිංසක මිනිස්සු ඇවිත් මෙතන උද්ඝෝෂණයක් කළාට කමක් නැහැ. නමුත් රාජ්‍ය නොවන සංවිධානවලින් ඩොලර් අරගෙන ව්‍යාපාර කරලා මෙතන බොරුවට කෑ ගහන එක අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා විතරක් නෙවෙයි, අපි ඊට විරෝධය පළ කරනවා. එහා පැත්තේ තියෙනවා පොලිස් නිලධාරීන් හයසීයකට වඩා මරපු ඒ ස්මාරකය. මේ සිංහල බෞද්ධ මිනිස්සුන්ට මෙච්චර දේවල් වෙලා තියෙද්දී රාජ්‍ය නොවන සංවිධානවලින් ඩොලර් අරගෙන අහිංසක මිනිස්සු ටිකක් අව්වේ තියාගෙන මේ කරන දේට සිංහල බෞද්ධයෝ හැටියට දැඩි විරෝධය පළ කරනවා.' උහන සුමන හිමියෝ පැවසුහ.