ජනමාධ්‍ය කටයුතු නියාමනයට 'ස්වාධීන ජනකොමිසමක්'

ලෝක ජනමාධ්‍ය දිනය වෙනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම

ඡායාරූප මූලාශ්‍රය, Free Media Movement

ඡායාරූප ශීර්ෂ වැකිය,

සංවාද මණ්ඩපය මෙහෙයවන ලද්දේ මාධ්‍ය පර්යේෂක නාලක ගුණවර්ධන විසින්

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවලට අදාළ කටයුතු මෙහෙයවීම පිණිස ස්වාධීන මාධ්‍ය කොමිසමක් පත්කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

මාධ්‍යවලට අදාළ ආයතන සහ ව්‍යුහයන් පිහිටුවීම, ප්‍රතිව්‍යුහගත කිරීම්, නීති සංශෝධන යනාදී කටයුතු එවැනි ස්වාධීන ආයතනයක් යටතේ සිදුකිරීම වගකීම් සහගත නිදහස් මාධ්‍ය සම්ප්‍රදායයක් ඇතිකිරීම පිණිස ඉතා වැදගත් බවයි එම සංවිධානය පවසන්නේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ බව පවසන්නේ ලෝක ජනමාධ්‍ය දිනය තේමා කරගෙන පසුගියදා පැවැත්වුණු වැඩමුළුවකදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින්.

ඡායාරූප මූලාශ්‍රය, Free Media Movement

ඡායාරූප ශීර්ෂ වැකිය,

ලෝක ජනමාධ්‍ය දිනය වෙනුවෙන් පැවැත්වුණු රැස්වීමේදී අන්තර්ජාතික මාධ්‍ය සහයෝගිතාවයේ ආචාර්ය රංග කලංසූරිය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සීතා රංජනී දේශණ පැවැත්වූහ

විද්‍යුත් මාධ්‍යවලට බලපත්‍ර ලබාදීමේ බලය පැවරෙන ස්වාධීන විකාශන අධිකාරියක් පිහිටුවීම, රාජ්‍ය මාධ්‍ය මහජන සේවා මාධ්‍ය බවට පත්කිරීම ඇතුළු ජනමාධ්‍යවලට අදාළ කරුණු යෝජිත ස්වාධීන නියාමන කොමිසම යටතේ පිහිටුවනු ලබන ස්වාධීන විද්වත් කමිටුවලට පැවරිය හැකි බවත් නිවේදනයේ සඳහන්.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍යවල ක්‍රියාකාරිත්වය විරුද්ධ පක්ෂයේ සිටියදී වත්මන් ආණ්ඩුවේ බලධාරීන්ගේ දැඩි විවේචනයට ලක් වී තිබුණි.

එමෙන්ම සියලු රාජ්‍ය මාධ්‍ය මහජන සේවා මාධ්‍ය බවට පත්කරන බවට ආණ්ඩුවේ බොහෝ බලධාරීන් මෙන්ම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයාද කිහිප වතාවක්ම ප්‍රතිඥා දුන්නේය.

ඉහත කී කරුණු හැරුණු විට ජනමාධ්‍යවලට අදාළ නීති ප්‍රතිව්‍යහගත කිරීම් ඇතුළු බොහෝ කටයුතුද ස්වාධීන නියාමන කොමිසමට පැවරිය හැකි බවයි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.