මුසවේනිගේ පදවි ප්‍රාප්තියට මහින්ද උගන්ඩාවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ Image copyright AFP
Image caption එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරාධනයක් අනුව යෝවේරි මුසවේනි 2012 දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවිය

උගන්ඩාවේ ජනාධිපති යෝවේරි මුසවේනි පස් වෙනි වරටත් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන උත්සවයේ විශේෂ ආරාධිතයෙක් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගිවීමට නියමිතයි.

උගන්ඩා රජයේ ආරාධනාව පිළිගෙන පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වන බව හිටපු ජනාධිපතිවරයා දැනටමත් දැනුම් දී තිබෙන බව ඔහුගේ පුද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර බීබිසි සංදේශයට පැවසීය.

මේ අතර සිය පියා සමග උගන්ඩා ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියට සහභාගි වීමට අවසර දෙන මෙන් හිටපු ජනපතිවරයාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණ.

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් රූපවාහිනී නාළිකාවට එරෙහිව එල්ල වී තිබෙන මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂගේ ගමන් බලපත්‍රය අධිකරණය මගින් තහනම් කර තිබේ.

චෝදනා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙසේ උගන්ඩාවේ සංචාරයක නිරත වන්නේ, ජනාධිපති මුසවේනි පස් වෙනි වරටත් තේරී පත්වීම පිණිස බරපතල ඡන්ද දූෂණවල යෙදුණු බවට උගන්ඩාවේ විරුද්ධ පක්ෂය විරෝධතා දියත්කර තිබෙන අතරවාරයේ.

බ්‍රහස්පතින්දා පැවති විරෝධතාවලින් අනතුරුව විපක්ෂ ක්‍රියාකාරීන් ගණනාවක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි, රොයිටර් පුවත් සේවය පවසන්නේ.

Image copyright Getty Images

වසර 30 කට අධික කාලයක් උගන්ඩාව පාලනය කරන ජනාධිපති යෝවේරි මුසවේනි ඒකාධිපති පාලනයක් ගෙන යන බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ ක්‍රියාධරයෝ චෝදනා කරති.

එමෙන්ම රටේ බරපතල දූෂණ, වංචාවලට එරෙහිව ක්‍රියා නොකරණ බවටත් මුසවේනි පාලනයට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන අතර, මූල්‍ය අවභාවිතය පිළිබඳව චෝදනා කරමින් ජාත්‍යන්තර ආධාර සංවිධාන ගණනාවක්ම උගන්ඩාවට ආධාර ලබා දීම තාවකාලිකව නවතා දමා තිබේ.

යෝවේරි මුසවේනි 2012 දී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, 2013 දී හිටපු ජනාධිපතිවරයා උගන්ඩාවේ සංචාරයකද නිරත විය.