ආනන්ද සංගරී ෆෙඩරල් ප්‍රතික්ෂේප කරයි

Image caption දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී (මැද)

තමන් විසින් පිහිටුවීමට යන නව දේශපාලන පක්ෂය ශ්‍රී ලංකාවට ෆෙඩරල් පාලන ක්‍රමයක් ඉල්ලා නොසිටින බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී පවසයි.

ඔහු එම අදහස පළ කළේ අභිනවයෙන් පිහිටුවීමට යන 'ප්‍රජාතන්ත්‍ර වාදී දෙමළ ජනතා පෙරමුණ' නම් දෙමළ දේශපාලන සංවිධානය පිළිබඳව දැනුවත් කිරීම සඳහා යාපනයේ පැවැත්වුන මාධ්‍ය හමුවෙන් අනතුරුව බීබීසිය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී.

ද්‍රවිඩ ජාතික සන්ධානය(TNA) මහජනයාට පොරොන්දු දෙන නමුත් ඒවා කිසිවක් ඉටු නොකරන බවට චෝදනා කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී නව දේශපාලන සංවිධානයක් ගොඩ නැගීම කලක පටන් බලාපොරොත්තු වූ දෙයක් වූ දෙයක් බවයි සඳහන් කළේ.

හර්තාල් අවධ්යේ පටන් ලංකා සම සමාජ පක්ෂයේ සාමාජිකයකු වූ තමා සියලු ජන කොටස් සමඟ සාමයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමට කැමති බවයි ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ.

දෙමළ ජාතික සන්ධානය දෝෂ දර්ශනයට ලක් කළ නමුත් තමන් එම සන්ධානයට් විරුද්ධ නැති බව කියා සිටි ආනන්ද සංගරී එහි දැනට රැඳී සිටින නව දේශපාලන සංවිධානය සමඟ එක් වෙන මෙන ආරාධනා කරන බවත් කියා සිටියේය.

'දෙමළ ජාතික සන්ධානය ජනතාවට බොරු පොරොන්දු දෙනවා.නමුත් කිසිම දෙයක් වෙන්නේ නැහැ'ආනන්ද සංගරී පවසයි..

සංවිධාන පහළොවක්

එහෙත් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වී නව දේශපාලන පක්ෂයට හවුල් වීමට කැමති අය සිටී ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ඇති බවයි ආනන්ද සංගරී පවසන්නේ.

නව දෙමළ දේශපාලන සන්ධානයට තමා නායකත්වය දෙන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ද ඇතුළුව තවත් සංවිධාන කීපයක් ම ඇතුළත් වෙන බවත් ආනන්ද සංගරී සඳහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා පෙරමුණට ඊ.පී.ඩී.පී., ඊරෝස් ඇතුළු දෙමළ සංවිධාන පහළොවක් පමණ සහයෝගය පළ කරන බවත් ආනන්ද සංගරී පවසයි.

ආරම්භයේ දී සිංහල හෝ වෙනත් සංවිධාන සමඟ සන්ධානගත නොවුනත් පසුව සියලු ජාතීන්ට අයත් දේශපාලන සංවිධාන සමඟත් සහයෝගයෙන් කටයුතු කරමින් සාමය දිනා ගැනීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී පවසයි.