පරිපූරක ඇස්තමේන්තු අවුල ලිහන්නට පාර්ලිමේන්තු කමිටුවක්

Image caption කතානායක කරු ජයසූරිය

ආණ්ඩුවේ පරිපූරක මුදල් ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීම සඳහා බ්‍රහස්පතින්දා (05) පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීමේ දී යම් වරදක් සිදු වී තිබේදැයි සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට කතානායක කරු ජයසුරිය පියවර ගෙන ඇත.

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සහ හිටපු කතානායක චමල් රාජපක්ෂ එම කමිටුව තුළ නියෝජනය වෙති.

බ්‍රහස්පතින්දා (05) පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 33 ක් සහ විපක්ෂව ඡන්ද 31 ලැබුණ බව නිවේදනය කෙරුණත් විපක්ෂය එම ප්‍රතිඵලය වැරදි බව පවසමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ඔවුන්ගේ විරෝධය පළ කළහ.

එම ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සමග අදාළ වීඩියෝ පට නිරීක්ෂණය කරනු ලැබීමේ දී දෙපාර්ශවයම ජන්ද 31 බැගින් සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇති බව පෙනී ගිය බවයි ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ.

සිකුරාදා (06)පාර්ලිමේන්තුව යළි රැස් වූ අවස්ථාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාත් එම ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ අවධානය සඳහා යොමු කළේය.

'පාර්ලිමේන්තුවේ ඉතාම වැදගත් අංගය වන ඡන්ද විමසීමක් ගැනත් විශ්වාසය බිඳෙනවා නම් අපි විශ්වාසය තියන්නේ කුමක් වෙතදැයි' විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ප්‍රශ්න කළේය.

විශ්වාසය බිඳ වැටීම

අනතුරුව නැගී සිටි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සඳහන් කළේ ' පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව පනතක් සම්මත වූ බවට මූලාසනය තීන්දුවක් ලබා දීමෙන් පසු නැවත ඡන්දය ගණන් කළ නොහැකි' බවයි.

'පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව විපක්ෂයේ තිහක් හතළිහක් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ කාමරයට ගිහින් ඔහු වට කොට ඡන්ද යළිත් ගණන් කරන මෙන් බලපෑම් කළා. ඒකද පාර්ලිමේන්තු සම්ප්‍රදාය? අපි එතන හිටියේ නැහැ' සභානායකවරයා ප්‍රකාශ කළේය.

Image copyright Saroj Pathirana
Image caption ලේ සෙලවුණ පාර්ලිමේන්තු ගැටුම

පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ පීඩනයට ලක් වූ බවයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අංශු මාරසිංහ පවසන්නේ.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා අදහස් දක්වද්දී පාර්ලිමේන්තුව තුළ ගැටුම්කාරී තත්වයක් මතු විය.

කතානායක තීන්දුව

ඉන් අනතුරුව කතානායකවරයා පැවසුවේ එම සිද්ධිය ගැන සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන බවයි. එම කමිටු වාර්තාව ලබන පාර්ලිමේන්තු සැසි වාරයට පෙර පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කරමින් තීන්දුවක් ගන්නා බවයි කතානායකවරයා ප්‍රකාශ කළේ.

මේ අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ අදාළ පරිපූරක ඇස්තමේන්තුව මගින් ආණ්ඩුව පාර්ලිමේන්තුව නොමග යවා ඇති බවයි.

'මිලියන 55ක ඇස්තමේන්තුවක් නොවෙයි, ඊයේ ඉදිරිපත් කළේ - මිලියන 2000 කට වැඩි පරිපූරක ඇස්තමේතුවක්- මේක සභාව නොමග යැවීමක්' විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඒ සමඟ සභාවේ දැඩි උණුසුම් තත්වයක් ඇති වූ අතර තත්වය පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙන් කතානායකවරයා පාර්ලිමේන්තුව සුළු වෙලාවකට කල් තැබීමට පියවර ගත්තේය.

තවත් ගිණුම් ලේඛනයක්

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව යළි ආරම්භ වූ පසු ආණ්ඩුව වෙනුවෙන් අදහස් දැක්වූ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා සභාවට පෙන්වා දුන්නේ 'ආණ්ඩුව ඉදිරිපත් කරන ලද්දේ රුපියල් මිලියන 55ක පරිපූරක ඇස්තමේන්තුවක් පමණක්' බවයි.

එම පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් යම් ගැටළුවක් පැන නැගුනේ, ඉදිරි කාලයේ ඉදිරිපත් කිරීමට නියමිත පනතක ගිණුම් ලේඛනයක් ද ඉහත කී පරිපූරක ඇස්තමේන්තුවත් සමග මන්ත්‍රිවරුන්ගේ දැන ගැනීම සඳහා ලබා දීම නිසා බවයි විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.