'වධ හිංසා අතුරුදහන් කිරීම් සහමුලින්ම නතර විය යුතුයි'

Image caption මෙම සොයා ගැනීම් සහ ඔවුන්ගේ නිර්දේශයන් ජිනීවා මානව හිමිකම් මූලස්ථානයට වාර්තා කරන බවයි , මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් දෙදෙනා කියා සිටියේ.

ශ්‍රී ලංකාව තුළ වධ හිංසා නතර කිරීම අතින් ප්‍රගතියක් ලබා ඇතත් එවැනි ක්‍රියා සහමුලින්ම තුරන් කර දැමීමට පියවර ගත යුතුව ඇතැයි පසුගියදා ශ්‍රී ලංකාවේ නිරීක්ෂණ සංචාරයක නිරත වූ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෝ ප්‍රකාශ කරති.

මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් වන මොනිකා පින්ටෝ සහ ජුවාන් එන් මෙන්ඩේෂ් එම ප්‍රකාශය කළේ සෙනසුරාදා කොළඹ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකදී.

ඔවුන්ගේ මූලික නිරීක්ෂණ සහ නිර්දේශයන් එහිදී සවිස්තරාත්මකව ඉදිරිපත් කරනු ලැබුණි.

එම මාධ්ය හමුවේදී අදහස් දක්වමින් මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජුවාන් එන් මෙන්ඩේෂ් පවසා සිටියේ උතුරේ යුද්ධය පැවති කාලය සමග සසඳන විට මානව හිමිකම් කඩකිරීම් සහ පුද්ගල වධ හිංසා පැමිණවීම් යනාදියේ අඩු වීමක් පෙන්නුම් කරන අතර සිදු කෙරෙමින් තිබුණු වධ හිංසාවල දරුණුභාවය අඩු වී ඇති බවයි.

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ අතුරුදහන් කිරීම් ගැන වාර්තා නොවූවද පෙර සිදුව ඇති අතුරුදහන් කිරීම් පිලිබඳ සොයා බැලීම් සිදු කළ යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.

යුද්ධය පැවති කාලයේ අතුරුදහන් වීම් 16,000ක් පමණ වාර්තා වූ බව පවසන මෙන්ඩේෂ් පවසා සිටියේ එම අතුරුදහන් වීම් පිලිබඳ පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

ඒ අතරම අඩු මට්ටමකින් හෝ ශ්‍රී ලංකාව තුළ තවමත් වධ හිංසා සිදුවීම පිළිබඳව කණගාටුවන බවයි ජුවාන් එන් මෙන්ඩේෂ් වැඩිදුරටත් සිටියේ.

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවයි.

පෙරට වඩා තත්වය හොඳ අතට හැරී තිබුණද අවාසනාවන්ත දේ අඩුවෙන් හෝ සිදුවීම නතර විය යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.

සිය සොයා ගැනීම් සහ ඔවුන්ගේ නිර්දේශයන් ජිනීවා මානව හිමිකම් මූලස්ථානයට වාර්තා කරන බවයි , මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් දෙදෙනාම කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්

සබැඳි අන්තර්ජාල යොමු

වෙනත් අන්තර්ජාල අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ