මඩවලින් ගමන නවත්වන්න බැහැ -ජවිපෙ නායකයෝ

Image copyright JVP
Image caption 'ප‍්‍රවෘත්තිය පළ කර තිබෙන්නේ කිසිසේත්ම මාධ්‍ය ආචාර ධර්ම හෝ පිළිගත් මාධ්‍ය භාවිතයක් ඇතුළේ නෙවෙයි'

නායකත්වයට එරෙහිව එම පක්ෂය තුළ යම් බෙදීමක් ඇති වී තිබෙන බවට එක්තරා සති අන්ත ජාතික පුවත් පතක පළ වූ ලිපිය මඩ ගැසීමේ අරමුණින් ලියන ලද්දක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මෙවැනි මඩ ගැසීමෙන් හෝ අවලාද නැගීමෙන් පක්ෂයේ ඉදිරි ගමන අඩාල කළ නොහැකි බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ.

'අප මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පසුගිය කාලයේත් වර්තමානයේත් දිගින් දිගටම කි‍්‍රයා කරමින් සිටිනවා. පසුගිය කාලයේ මාධ්‍ය ආයතන ගිණි තබා, බෝම්බ ගැසූ අවස්ථාවලදී වගේම මාධ්‍යවේදීන් පැහැර ගැනීම සහ තර්ජනයට ලක්වූ සියලූ අවස්ථාවලදී ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂාව ඇතුළු අනෙකුත් කටයුතු වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටියා. දිවයින අද ප‍්‍රවෘත්තිය පළ කර තිබෙන්නේ කිසිසේත්ම මාධ්‍ය ආචාර ධර්ම හෝ පිළිගත් මාධ්‍ය භාවිතයක් ඇතුළේ නෙවෙයි.' ඔහු පැවසීය .

Image copyright JVP
Image caption ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක

ජවිපෙ නායකයා මේ බව කියා සිටියේ ඉහත කී පුවත්පත් වාර්තාව පිළිබඳව කරුණු දැක්වීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

'කුණු කන්දක්'

මෙහි දී ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ තම පක්ෂය තුළ කිසිදු බෙදීමක් නොමැති අතර මෙම ප්‍රවෘත්තිය පිටුපස දේශපාලන අරමුණක් ඇති බවයි.

'අනුර සහෝදරයා ඉලක්ක කරගෙන අනිත් අයත් තම තමන්ගේ හිත්වල තිබුණු දේවල් ලියපු බව අපි දැක්කා. අපි කියන්නේ ඉතා වගකීමෙන් ඉරිදා දිවයිනේ පළකර තිබෙන ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන්, මේ පිටුපස සිටින කල්ලිය සම්බන්ධයෙන් කණගාටු වෙනවා හැර වෙන කරන්න දෙයක් නැති බවයි. මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ ඇඟේ එල්ලී ඉන්න කුණු කන්දක් වුණු හාදයා මේ මුළු කි‍්‍රයාදාමය පිටුපස ඉන්න බව අපි දන්නවා. ඒවගේම රාජපක්‍ෂ පාලන සමයේ ගත කළ සැප ජීවිත අහිමි වුණු තව පිරිසකුත් මේ පිටුපස ඉන්නවා. මේ එල්ල කර තිබෙන කෝපය අනුර සහෝදරයාට විතරක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ පක්‍ෂයක් වශයෙන් ඉටු කරන කාර්යභාරයට විරුද්ධව පළ කර තිබෙන කෝපයක්.' පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙහිදී පැවසීය.

එමෙන්ම පක්ෂයේ සාමුහිකත්වය ඉදිරියේ කිසිවෙකු හුදෙකලා නොවන බවද අවධාරණය කළේය.

සබැඳි විෂයයන්