අකුණු සැර වැදී වල් අලි 4 ක් මරුට

වල් අලි
ඡායාරූප ශීර්ෂ වැකිය,

ඇතින්නක සහ අලි පැටවුන් තිදෙනාගේ මළ සිරුරු

විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ අනුරාධපුර මහවිලච්චිය කිරල් පැටියාව ප්‍රදේශයේ දී වල් අලියන් සිව් දෙනෙකු අකුණු සැර වැදී මියගොස් සිටිය දී අද උදෑසන ප්‍රදේශයේ ගොවීන් පිරිසක් විසින් සොයාගනු ලැබ තිබුණි.

තලහෙන් වලට ගිය ගොවීන් හේන් ඉස්මත්තෙන් දුගඳක් හැමීම නිසා එය කුමක්දැයි සෝදිසි කිරීමේදීයි මියගිය වල් අලි සිව් දෙනෙකුගේ සිරුරු හමුවී ඇත්තේ.

ඇතින්නක් සහ වල් අලි පැටවුන් තුන් දෙනෙකු ගේ සිරුරු ඒ අතර තිබෙන බවයි එම සිරුරු මුලින්ම දුටු කිරල් පැටියාවේ ප්‍රගීත් ජයන්ත සංදේශයට පැවසුවේ.

මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම්වරයාගේ දැනුම්දීම මත අලින්ගේ සිරුරු තිබූ ස්ථානයට ගිය වයඹ වනජීවී කලාපය භාර පශුවෛද්‍ය චන්දන ජයසිංහ විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු තීරණය වුයේ දින තුනකට හෝ හතරකට පෙර අකුණු සැර වැදීමකින් මෙම ඇතින්න සහ අලි පැටවුන් සිව් දෙනා මියගොස් ඇති බවයි.

මියගිය අලි පැටවුන් තිදෙනාගෙන් දෙදෙනෙක් මෙම මියගිය ඇතින්නගේ පැටවුන් වියහැකි බවටයි වෛද්‍ය චන්දන විශ්වාසය පළකළේ.

කිරල් පැටියාව ප්‍රදේශවාසීන් පැවසුවේ පෙරේදා සහ ඊට කලින් දිනයේ එම ප්‍රදේශයට තදින් අකුණු ගසමින් මහා වැසි අද හැලුණු බවයි.

එම දින දෙකින් එකක දී මෙම වල් අලි සිව් දෙනාට අකුණු සැර වදින්නට ඇති බවටයි ඔවුන් විශ්වාස කරන්නේ.