ජනතාවට වගකියන මාධ්‍ය කර්මාන්තයක් වෙනුවෙන් යෝජනා මාලාවක්

Image caption මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයට සම්බන්ධ නිර්දේශ සියයකට වැඩි ප්‍රමාණයක් වාර්තාවට ඇතුලත්

දශක ගණනාවක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙසින් ජනවාර්ගික, ආගමික හා දේශපාලන රේඛාවන් ඔස්සේ 'දැඩි ලෙස ධ‍්‍රැවීකරණය වී තිබෙන' ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය යළිත් වරක් ජනතාවට වග කියන මාධ්‍ය බවට පත්කිරීමේ අවශ්‍යතාවය ක්‍රියාධරයෝ අවධාරණය කරති.

මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ සඳහා ලේකම් කාර්යාංශය ඒ බව පවසන්නේ 'ජනතාවට වගකියන මාධ්‍ය කර්මාන්තයක් උදෙසා; ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂෙත‍්‍රය හා වෘත්තිය නගා සිටුවීමට සැළැස්මක්' මැයෙන් පූර්ණ වාර්තාවක් නිකුත් කරමින්.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ සියයකට වැඩි ප්‍රමාණයක් එම වාර්තාවට ඇතුලත්.

දේශපාලන අධිෂ්ඨානය

පසුගිය වසරේ පැවති ජනපතිවරණයෙන් අනතුරුව ප්‍රකාශනයේ නිදහස ශක්තිමත් වී තිබෙන නමුත් එපමණකින්ම මාධ්‍යවල වෘත්තීයභාවය සහ සමාජයීය වගවීම වර්ධනය නොවන බවයි, වාර්තාව පෙන්වා දෙන්නේ.

එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකාශනයේ නිදහස හා මාධ්‍ය නිදහස වැඩි දියුණු කිරීමටත්, මාධ්‍යවේදීන්ට හා සෙසු මාධ්‍ය සේවකයන්ට හිතකර වාතාවරණයක් නිර්මාණය කිරීම පිණිසත් තවත් බොහෝ දේ කළ යුතුව තිබෙන අතර මේ සඳහා දේශපාලන අධිෂ්ඨානය අත්‍යවශ්‍ය බවත් එහි සඳහන්.

Image caption අගමැතිවරයා, විපක්ෂනායකවරයා සහ ජනමාධ්‍ය ඇමැතිවරුද වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක්ව සිටියහ

ඒ අතරම රාජ්‍යයේ බලපෑම, තාක්ෂණික ප්‍රගමනය, වෙළඳපොල බලපෑම, මාධ්‍ය ව්‍යාපාරවල ආර්ථික ස්ථායීභාවය වැනි කරුණු හමුවේ මාධ්‍ය කර්මාන්තය සහ වෘත්තීය තුල අර්බුද මතු වී තිබෙන බව පෙන්වා දෙන වාර්තාව, මේ සියලු ගැටලුවලට විසඳුම් වශයෙන් කෂේත්‍රයේ සහ වෘත්තියේ දැවැන්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.

යුනෙස්කෝව 2009දී ලෝකයට හඳුන්වා දුන් මාධ්‍ය සංවර්ධන දර්ශක (Media Development Indicators framework) භාවිතා කරමින් ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය පරිසරය තක්සේරු කරන මෙම අධ්‍යයනය, මාධ්‍ය නිදහස සහ මාධ්‍ය බහුවිධභාවය නැංවීම පිණිස සිය නිර්දේශ යෝජනා කර තිබේ.

වාර්තාවේ ප්‍රධාන නිර්දේශ අතර:

  • නීති විවරණ හා සංශෝධන - මාධ්‍ය නිදහස කෙරෙහි ප්‍රායෝගිකව යම් යම් සීමා පන වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, රාජ්‍ය ද්‍රෝහිත්වය පිළිබඳ නීති, අධිකරණයට අපහස කිරීමේ හා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම පිළිබඳ නීති සම්ප්‍රදායන් විමර්ශනය කොට භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් සංශෝධනය කිරීම.
  • තොරතුරු පනත - තොරතුරු හිමිකම් පනත සම්මත කර කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම.
  • හිමිකාරීත්වය- මාධ්‍ය හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු විවෘත, පාරදෘෂ්‍ය හා නියමිත කාලයකට වරක් මහජනයාට හෙළිදරව් කිරීම අනිවාර්ය වන පරිදි නව නීති සම්පාදනය කිරීම.
  • මාධ්‍ය නියාමනය - බහුතරයක් මාධ්‍යවේදීන්ගේ පිළිකුලට පාත්‍ර වූ 1973 අංක 5 දරණ පුවත්පත් මණ්ඩල පනත හා එමගින් පිහිටු වන ලද මාධ්‍ය මර්දනකාරී රාජ්‍ය පුවත්පත් මණ්ඩලය අහෝසි කර වඩා කාර්යක්ෂම ස්වයං නියාමන සැකැස්මක් සංවිධානය කිරීම.
  • විද්‍යුත් මාධ්‍ය නියාමනය - විද්‍යුත් මාධ්‍ය විකාශන බලපත්‍ර ලබා දීම වඩා පාරදෘෂ්‍ය වන සේ නව නීති සැකසීම. විකාශන සංඛ්‍යාත පරාස ලබා දීම වඩා තාර්කික විය යුතු අතර මහජන, වාණිජ හා ප්‍රජා විකාශන යන තල තුනේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.
  • ඩිජිටල්කරණය- විද්‍යුත් මාධ්‍ය ඩිජිටල්කරණය වෙනුවෙන් පැහැදිලි සැලැස්මක් හා කාල සටහනක් රජය විසින් සකස් කිරීම.
  • මහජන සේවා මාධ්‍ය - මහජනයා සතු රාජ්‍ය මාධ්‍ය ආයතන, බලයේ සිටින දේශපාලන පක්ෂයේ ප්‍රචාරක වැඩට යොදා ගන්නා සම්ප්‍රදායයෙන් අත්මිදෙමින් රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන ස්වාධීන මහජන සේවා ආයතන බවට පත් කිරීම.
  • වාරණය - කිසිදු මාධ්‍යයක අන්තර්ගතයක් ප්‍රකාශනයට පෙර බලධාරීන්ගෙන් අවසර ලබා ගත යුතු යයි බල කැරෙන වාරණ නීති, රෙකුලාසි හා ක්‍රම සියල්ල ඉවත් කිරීම.
  • පෞද්ගලිකත්වය හා ආවේක්ෂණය - රජය විසින් සියලු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ගරු කොට ආරක්ෂා කළ යුතු අතර, පෞද්ගලික පුරවැසියන්ගේ හා ආයතනවල දුරකථන සංවාද හා විද්‍යුත් සන්නිවේදන ආවේක්ෂණය (surveillance) නොකිරීම.
  • මාධ්‍ය අධ්‍යාපනය හා සාක්ෂරතාව - තෘතීයක මට්ටමේ පුවත්පත් කලා හා ජනමාධ්‍ය අධ්‍යාපන පාඨමාලා විවරණය කර වත්මන් මාධ්‍ය කර්මාන්ත අවශ්‍යතාවලට හා මාධ්‍ය පාරිභෝජන රටාවලට අනුකූල වන සේ යාවත්කාලීන කිරීම සහ මාධ්‍ය සාක්ෂරතාව හා සයිබර් සාක්ෂරතාව දියුණු කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර