පොලිස් පහර දීමක් මානව හිමිකම් කොමිසමට

Image caption ශ්‍රී ලංකා පොලිසිය

පොලිසිය විසින් සාමාන්‍ය පුරවැසියකු පැහැර ගෙන ගොස් සිදු කරන ලද පහර දීමක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව නීතිඥ උදුල් ප්‍රේමරත්න පවසයි.

සිය පැමිණිල්ල සම්බන්ධයෙන් බීබීසියට ප්‍රකාශයක් කළ නීතිඥවරයා කියා සිටියේ කොළඹ අපරාධ පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් පිළියන්දල පදිංචිකරුවකු වන දිසානායක මුදියන්සේලාගේ සරත් දිසානායක නම් පුද්ගලයාගේ නිවසට කඩා වැදී ඔහුට පහර දී නීතියට පටහැණිව පැහැර ගෙන ගොස් යළිත් පහර දී ඇති අතර තමා ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් භාර දුන් බවයි.

අදාළ පහර දීම පිළිබඳව වැඩි දුරටත් කරුණු පැහැදිළි කරන නීතිඥ උදුල් ප්‍රේමරත්න පවසන්නේ පසුගිය බ්‍රහස්පතින්දා කොට කලිසම් සහ ටී ෂර්ට්ස් වලින් සැරසුණ කණ්ඩායමක් තමන් පොලිසියෙන් යයි පවසමින් සරත් දිසානායකගේ නිවසට ඇතුල් වී ඔහුට සහ ඔහුගේ පුත්‍රයාට ගෙය තුළදී ම පහර දී නිවස ද හැඩි කළ බවයි.

අනතුරුව සරත් දිසානායක සහ ඔහුගේ පුත්‍රයා දෙමටගොඩ පොලිස් අපරාධ කොට්ඨාශයට ගෙන ගොස් ඇති බවයි නීතිඥ උදුල් ප්‍රේමරත්න පවසන්නේ.

පැහැර ගැනීම සිදු කරන ලද්දේ පොලිසිය විසින් යයි තහවුරු කරන්නේ කෙසේදැයි බීබීසිය විමසූ විට නීතිඥවරයා කියා සිටියේ, පසු දින සරත් දිසානායකගේ දියණිය දෙමටගොඩ අපරාධ කොට්ඨාශයට ගිය අවස්ථාවේ සිය පියා සහ සහෝදරයා එහි සිටිනු දැක ඇති අතර අන්තිමේ දී ඔවුන් පොලිස් ඇප මත මුදා හරින ලද අවස්ථාවේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් අත්සන් තබා ඇත්තේ එම දියණිය විසින් බවයි.

'මේ නිසා අදාළ පුද්ගලයන් පැහැර ගැනීම සහ පහර දීම සිදු කර ඇත්තේ පොලිසිය විසින් බවට සැකයක් නැහැ' නීතිඥ උදුල් ප්‍රේමරත්න පවසයි.

ජනවාරි අටට පෙර මුදල් වංචා

එවැනි පැහැර ගැනීමක් සහ පහර දීමක් කිරීම සඳහා බල පා ඇති හේතු පිළිබඳව බීබීසිය විමසූ විට නීතිවේදියා ප්‍රකාශ කළේ පසුගිය පාලන සමයේ ජනාධිපති කාර්ය මණ්ඩලයේ සිටි බලවත්ම පුද්ගලයෙක් සහ ඔහුගේ මිතුරෙක් 2015 ජනවාරි අට වෙනි දිනට පෙර 'බැංකු වලින් මුදල් ඇද ගැනීමට' එවකට එම නිලධාරියාගේ රියැදුරා වී සිටි සරත් දිසානායක යොදා ගෙන ඇති බවයි.

චෙක් පත් දී ඒවා මුදල් බවට පත් කර ගැනීමට ඉහත කී බලවත් නිලධාරියා සරත් දිසානායක යොදා ගැනීමේ දී එක්තරා මුදලක් අතුරුදහන් වීමක් සම්බන්ධයෙන් ඔවුන් අතර ඇති වූ ආරවුලක් මෙම පැහැර ගැනීමේ හේතුව බවත් නීතිවේදී උදුල් ප්‍රේමරත්න පවසයි.

පොලිසිය සරත් දිසානායක පැහැර ගෙන ගොස් ඔහුට පහර දී රුපියල් කෝටියක් පමණ වූ එකී මුදල් තොගය පිලිබඳ වගකීම භාර ගන්නා මෙන් ඔහුට බල කර ඇති බවයි නීතිවේදියා පවසන්නේ.

අල්ලස් කොමිසමට

එවැනි ක්‍රියාවක් සඳහා පැරණි පරාජිත පාලනයේ නිලධාරීන්ට බලයක් තිබිය හැකිදැයි බීබීසිය ප්‍රශ්න කළ විට නීතිඥ උදුල් ප්‍රේමරත්න පවසන්නේ ඔවුන්ගෙන් එවැනි බලපෑම් කිරීම් තවමත් සිදු වෙන බවයි.

සරත් දිසානායකට පොලිසියේ දී පහර දෙන විට පසුගිය පාලන සමයේ ජනාධිපති කාර්ය මණ්ඩලයේ සිටි ඉහත කී බලවත් පුද්ගලයාගේ මෙම සිද්ධියට සම්බන්ධ මිතුරා අසුනක වාඩි වී එම පහර දීම දෙස බලා සිට ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

ජනවාරි අට වෙනි දිනට පෙර සිදු කොට ඇති එම මූල්‍ය වංචාවන් පිළිබඳව සරත් දිසානායක අල්ලස් සහ දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට කට උත්තරයක් දී ඇති බවයි නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේ.