හරීන්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනපති සොයුරා ගේ නිවාස ගාස්තුව ගැන හරීන් කරුණු පහදයි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේනගේ නිල නිවසේ මාසික කුලිය වශයෙන් රුපියල් ලක්ෂ හතක් ගෙවන බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් පැවති දුර්මතය නිරාකරණය කර ගෙන ඇති බව විදුලි සංදේශ කටයුතු භාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සහෝදරයකු වන ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේනගේ නිල නිවසට මාසික කුලිය වශයෙන් රුපියල් ලක්ෂ හතක් ගෙවන බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් අදාළ ආයතනය භාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ලිපියකින් කරුණු විමසා තිබුණි.

බීබීසී සිංහල සේවයේ සරෝජ් පතිරණ හා සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ, ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයාගේ නිල නිවස සඳහා ඉහත කී ආකාරයේ මුදලක් ගෙවීම සම්බන්ධයෙන් අදාළ ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය යෝජනාවක් පමණක් ඉදිරිපත් කොට ඇති බවයි.

කෙසේ වෙතත් එවැනි ඉල්ලීමක් ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේනගෙන් ඉදිරිපත් වී නොමැති බව තමා කළ විමසීමකදී දැන ගැනීමට ලැබුණු බවයි අමාත්‍යවරයා පවසන්නේ.

විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා පාර්ලිමේන්තුව සහ මහජනතාවට වගකිවයුතු බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු විමසා සිටි බවත් ඔහු සඳහන් කළේය.

මෑතකදී සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂය නගන චෝදනා පදනම් විරහිත බවයි.

ආණ්ඩුව ක්‍රියාවට නගන වැඩසටහන් පිළිබඳව ජනතාවට පහදාදීම සහ විපක්ෂය එල්ල කරන චෝදනාවලට පිළිතුරු දීම පිණිස නිසි ක්‍රියා පටිපාටියක් ආණ්ඩුව සතුව නොමැති බවත් විදුලි සංදේශ කටයුතු භාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි විෂයයන්