ලංකාවේ දිනකට නීතිවිරෝධී ගබ්සා 650ක්!

ශ්‍රී ලංකාවේ නීති විරෝධී ගබ්සාවන් දිනකට හයසිය පනහකට අධික ප්‍රමාණයක් සිදු වන බවට නවතම පර්යේෂණ වාර්තාවක් සඳහන් කරයි.

මේ අනුව වසරකට ශ්‍රී ලංකාවේ සිදු වන නීති විරෝධී ගබ්සා ප්‍රමාණය දෙලක්ෂ හතළිස් දහස ඉක්මවා යන බවයි එම වාර්තාවේ කරුණු දක්වමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය කේ කරුණාතිලක පවසන්නේ.

මෙය සමාජ ප්‍රශ්නයක් බවට පත් වී ඇතත් ඒ පිළිබඳව රටේ දේශපාලනඥයන්ට නිසි දැනුමක් නොමැති කමින් ඊට නිසි පිළියම් යෙදීම පමාවී ඇති බවද ඔහු පවසයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

මහාචාර්ය කේ කරුණාතිලක

'දැනට තියෙන දත්ත අනුව ලංකාවේ නීති විරෝධී ගබ්සාවන් 658ක් සිදු වෙනවා. අවුරුද්දකට ගණන් බැලුවොත් දෙලක්ෂ හතළිස් දහසකට අධිකයි. පෙර දත්තයන් හා සසඳන කල ගබ්සාවන් සිදු කිරීමේ වැඩි වීමක් පැහැදිලිවම පෙන්නුම් කරනවා.' මහාචාර්යවරයා ප්‍රකාශ කළේ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

සමාජය නවීනත්වයට යාමත් සමඟ කල් ගතවී විවාහ වන සමාජයක් බිහි වීම නිසා පූර්ව ලිංගික ක්‍රියාකාරකම් වැඩි වීමත්, නව යොවුන් වියේ පසුවන දැරියන් ගැබ් ගැනීමත් මීට ප්‍රධාන හේතුවක් බවයි ඔහු පවසන්නේ.

මීට අමතරව විවාහය තුළ පවා දරුවන් හදා වඩා ගැනීමට වත්කමක් නොමැති උදවියත්, අනියම් සබඳතා නිසා ගැබ් ගත් උදවියත් නීති විරෝධී ගබ්සාවන් සඳහා යොමු වන බව මහාචාර්ය කේ කරුණාතිලක පෙන්වා දෙයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

'සෘජුවම පෙනෙන නොපෙනෙන කරුණු අනුව ගබ්සාවට ඉල්ලුමක් තියෙනවා'

දේශපාලනඥයා

'අපේ පර්යේෂණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පවා සාකච්ඡා කලා. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම. එහිදී පෙනී ගිය දෙයක් තමයි මේ ප්‍රශ්නයේ ඇති බරපතළ කම සහ ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග ගැන ප්‍රායෝගික දැනුමක් ඔවුනට නොතිබූ බව.' ඔහු පැවසීය.

ගබ්සාවන් නීති ගත කිරීම මගින් මෙම සමාජ ප්‍රශ්නයට විසඳුම් ලබා ගත හැකි බවට ඇතැමුන් දරන මතය ගැන විමසූ විට මහාචාර්යවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

'සෘජුවම පෙනෙන නොපෙනෙන කරුණු අනුව ගබ්සාවට ඉල්ලුමක් තියෙනවා. එවැනි ඉල්ලුමක් තුළ හොර වෛද්‍යවරුන් හරහා එවැනි සේවාවන් ලබා ගැනීමට ඉඩ තබනවාට වඩා නෛතිකව එවැනි දෙයක් පාලනය කර ගැනීමට ඉඩක් සමාජයක තිබිය යුතුයි. ලෝකයේ දියුණු සමාජවල මෙවැනි තත්වයන් තිබෙන බව අපි හොඳින් දන්නවා.'

ලිංගික අධ්‍යාපනය

ලිංගික අධ්‍යාපනයද මෙහිදී ඉතා වැදගත් වන නමුත් ගුරුවරයාගෙන් එය නිසි ලෙස ඉටු නොවන බවයි මහාචාර්යවරයා පවසන්නේ.

'සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පාසල් ළමුන්ට බෙදා දීම සඳහා උදා වූ යෞවනය කියල අත් පොතක් නිකුත් කලා. අපි කරපු පර්යේෂණයේදී පෙනී ගිය දෙයක් තමයි මේ පොත කබඩ් වල තියෙනවා මිසක් ළමුන් අතරට යන්නේ නැහැ.' ඔහු කියා සිටියේය.