උතුරේ නිවාස කොන්ත්‍රාත් පටිපාටියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

model_house_at_selvarasapuram_kopay_jaffna_65000_housing_project
ඡායාරූප ශීර්ෂ වැකිය,

නිවාස 65000 ව්‍යාපෘතිය වෙනුවෙන් ඉදිකළ ආදර්ශ නිවසක්

උතුරු නැගෙනහිර පලාත්වල යුද්ධයෙන් පිඩාවට පත් ජනතාවට නිවාස 65000 ක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව නීතියට පරිභාහිරව විදේශීය සමාගම වලට පැවරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෆෛසාල් නැමැත්තෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබේ.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා, පුනරුත්තාපන සහ බන්ධනාගාර කටයුතු අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් ඇතුළු පිරිසකි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

පුනරුත්තාපන සහ බන්ධනාගාර කටයුතු අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් ගොඩනැගූ ආදර්ශ නිවසක් පරීක්ෂා කරමින්

පෙත්සම්කරු පවසන්නේ අදාළ නිවාස ඉදිකිරීමේ කටයුතු රජයේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් විදේශීය සමාගම වෙත පැවරීමට වග උත්තරකාර ස්වාමිනාදන් අමාත්‍යවරයා කටයුතු කර ඇති බවයි.

මෙම කොන්ත්‍රාත්තුවේ දී රජයේ ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමට අමාත්‍යවරයා කටයුතු කර නොමැති බව කියා සිටින පෙත්සම්කරු මේ හේතුවෙන් අදාළ ව්‍යාපෘතියේ පාරදෘශ්‍ය භාවය පිළිබඳව බරපතළ සැකයක් මතුවන බවයි කියා සිටින්නේ.

මේ හේතුවෙන් අදාළ ඉදිරිකිරීම් කොන්ත්‍රාත්තුව ස්වාමිනාදන් අමාත්‍යවරයාගේ අභිමතය පරිදි විදේශය සමාගම් වෙත පැවරීම වළක්වන ලෙසත් කිසියම් විදේශීය සමාගමක් සමග ගිවිසුම් ඇති කර ගෙන තිබේ නම් එම ගිවිසුම අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.