ප්‍රතිවාදීන් ගැන ජනපතිගෙන් අනාවැකියක්

වස විස නැති රටක් Image copyright Getty Images
Image caption 'ඔබතුමාලා, දිනපොතක් ජංගම දුරකතනයක් තිබේ නම් සටහන් කර ගන්න, මීළඟ මැතිවරණයේදී අපට විරුද්ධ වන අය මැතිවරණ පොරොන්දුවක් දෙයි ගෙදරටම අපි ආපහු රසායන පොහොර එවනවා කියලා. ඒක තමයි මේ රටට කරන ලොකුම සාපය'

කුමන බාධක විවේචන එල්ල වුවත් 'වස විස නැති දේශීය ආහාර නිෂ්පාදන ජාතික වැඩපිළිවෙළ' අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කරයි.

ගොවිතැන සඳහා විෂ සහිත රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිත කිරීම දිරි ගන්වනු වස් සෑම ප්‍රාදේශීය කොට්ඨාශයකම කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ජනපතිවරයා ඒ බව කියා සිටියේ ගොවීන් සඳහා පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබා දීමේ ජාතික වැඩසටහන යටතේ මාකඳුර කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයේ ස්ථාපිත කරන ලද කාබනික ගොවිතැන සඳහා වූ විශිෂ්ටතා කේන්ද්‍රය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

ආණ්ඩුවක් යහපත් කටයුත්තක් සඳහා පා තබන සෑම අවස්ථාවකදීම ඇතැම් කණ්ඩායම් ඒවා යොදා ගනිමින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

අනාවැකියක්

"ඔබතුමාලා, දිනපොතක් ජංගම දුරකතනයක් තිබේ නම් සටහන් කර ගන්න, මීළඟ මැතිවරණයේදී අපට විරුද්ධ වන අය මැතිවරණ පොරොන්දුවක් දෙයි ගෙදරටම අපි ආපහු රසායන පොහොර එවනවා කියලා. ඒක තමයි මේ රටට කරන ලොකුම සාපය," ජනපතිවරයා පැවසීය.

Image copyright ICEI
Image caption වස විස නැති දේශීය ආහාර නිෂ්පාදනයට දිරිදීම සිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව ජනපතිවරයා පවසයි

ගොවිතැන් ක්ෂේත්‍රය පසුබිම් කර ගත් පවුලකින් පැවතෙන තමා ගොවීන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු නොකරන බවට ඇතැම් පිරිස් චෝදනා කරන බවත් ඔහු සඳහන් කළේය.

"මම ගොවිතැන ගැන දන්න නිසා තමයි මේ වැඩපිළිවෙළ ආරම්භ කළේ. මට හොඳට කුඹුර, ගොවිතැන හුරුයි. මම ගොවි ජනතාවගේ හෘද සාක්ෂිය දන්නා කෙනෙක්. මම විශ්වාස කරනවා මොන ගල්මුල්, මොන විවේචන ආවත් ස්ථීර වශයෙන්ම මේ ජාතික ව්‍යාපාරය ජයග්‍රහණය කරනවා කියන එක."

එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් තමා කාබනික පොහොර අධිකාරිය පිහිටවූ නමුත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කප්පාදු වූ බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

"එදා කාබනික පොහොර අධිකාරිය ශක්තිමත්ව ඉදිරියට ගෙන ආව නම් අපේ අරමුණට ළඟා වෙලා මේ වන විටත් මේ රට ජයග්‍රහණය කරලා," ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්