උඩුවේ හිමියන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරෙයි

උඩුවේ ධම්මාලෝක හිමියන්

ඡායාරූප මූලාශ්‍රය, Uduwe Dhammaloka Thero/FB

ඡායාරූප ශීර්ෂ වැකිය,

උඩුවේ ධම්මාලෝක හිමියන් අධිකරණය හමුවේ පවසා තිබුණේ 'බල්ලන් සහ බළලුන් පන්සල් වලට ගෙනත් දමනු ලබන ආකාරයට' අලි පැටවාත් කිසියම් පුද්ගලයකු විසින් සිය විහාර භූමියේ දමා ගොස් තිබූ බවයි

බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනු කළේය.

නීතිපතිවරයා සිය චෝදනා පත්‍රවල සඳහන් කර ඇත්තේ බලපත්‍රයක් නොමැතිව කොළඹ ඇලන් මැතිනියාරාමය තුළ අලි පැටවකු රඳවා තබා ගැනීම තුළින් උඩුවේ ධම්මාලෝක හිමියන් පොදු දේපළ පනත මෙන්ම වන සත්ව සහ වෘක්ෂලතා ආඥා පනතද උල්ලංඝනය කොට ඇති බවයි.

පොදු දේපළ පනත සහ සත්ව සහ වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය කිරීම අධිකරණය ඉදිරියේ දඬුවම් ලබා දිය හැකි වරදක් ලෙසයි නීතිපතිවරයා සිය අධිචෝදනා මගින් පෙන්වා දී ඇත්තේ.

ඉහත කී චෝදනා සම්බන්ධයෙන් පසුගියදා රහස් පොලිසිය විසින් උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය උන් වහන්සේ ඇප මත මුදා හැරීමට නියම කළේය.

වනජීවී නිලධාරීන් විසින් ඇලන් මැතිනියාරාමයේ සිටි අලි පැටියා සොයා ගනු ලැබීමෙන් අනතුරුව ධම්මාලෝක හිමියන් කියා සිටියේ 'බල්ලන් සහ බළලුන් පන්සල් වලට ගෙනත් දමනු ලබන ආකාරයට' එම අලි පැටවාත් කිසියම් පුද්ගලයකු විසින් සිය විහාර භූමියේ දමා ගොස් තිබූ බවයි.