බෝගල පතලේ අරගලය නිමා වෙයි

බෝගල පතලේ අරගලය නිමා වෙයි

සේවක ඉල්ලීම් මුල් කර ගනිමින් අඩි 1600 ක් ගැඹුරෙහි පිහිටි දෝනාවක සිට ගෙන ගිය සත්‍යග්‍රහය අවසන් කළ බව කෑගල්ල බෝගල මිනිරන් පතලයේ සේවකයෝ පවසති.

වැටුප් වර්ධක, නිල ඇඳුම්, පැය 08 ක සේවා මුරය සහ දින 21 ක අසනීප නිවාඩු ලබා දීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් බෝගල මිනිරන් පතල් සේවකයන් පිරිසක් අඟහරුවාදා සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.

ඉන් අනතුරුව සේවක ඉල්ලීම් ලබා දීමට පාලන අධිකාරිය එකඟ වී ඇති බවයි බෝගල මිනිරන් පතලයේ පාලන අධිකාරිය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ කියා සිටියේ.

සත්‍යග්‍රහයේ යෙදී සිටි සේවකයන් දෙදෙනකු අසනීප වී බදාදා උදෑසන රෝහල් ගත කොට ඇති බවත් ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න බීබීසී සංදේශයට වාර්තා කරයි.

සේවක ඉල්ලීම් ලබාදීම සඳහා ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන ආයතනය සතුව නොමැති බවයි මීට ඉහතදී බෝගොඩ මිනිරන් පතලයේ පාලන අධිකාරිය පවසා තිබුණේ.