ලලිත් සහ කුහන් 'ජීවතුන් අතර සිටි බව සනාථ වුනා'

ලලිත් සහ කුහන් අතුරුදන් කිරීමට එරෙහි උද්ඝෝෂණයක් Image copyright Getty Images
Image caption 2011 දෙසැම්බර් 09 වෙනි දින සිට ලලිත් වීරරාජ් සහ කුහන් මුරුගානන්දන් අතුරුදහන්ව සිටිති

යාපනයේදී අතුරුදහන්වීමෙන් දින කිහිපයකට පසුවත් ලලිත් කුමාර් වීරජාජ් හා කුහන් මුරුගානන්දන් ජීවතුන් අතර සිටියේ යයි කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාගෙන් අධිකරණයේ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව නීතිවේදියෙක් පවසයි.

ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී නුවන් බෝපගේ ඒ බව කියා සිටියේ, ඔවුන් අතුරුදන්වීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේදී හිටපු අමාත්‍යවරයාගෙන් හෙළි වුනු කරුණු පිළිබඳව බීබීසී සංදේශයට විස්තර කරමින්.

ලලිත් සහ කුහන් යාපනයේදී අතුරුදන් වූයේ 2011 දෙසැම්බර් 09 වෙනි දින බව පවසන නීතිවේදී නුවන් බෝපගේ, ඔවුන් දෙදෙනා ජීවතුන් අතර සිටින බව එවකට කැබිනට් ප්‍රකාශකයා වූ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී කියා සිටියේ 2011 දෙසැම්බර් 15 වැනි දින බව සිහිපත් කළේය.

"අපි අද ඔහු කැඳවලා අදාළ ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්න කළා. එහිදී ඔහු පැහැදිලිව ප්‍රකාශ කළා, ඔහු එම ප්‍රකාශය කළේ ඒ වනවිට හිටපු රජයේ ආරක්ෂක උපදෙස් සහ තොරතුරු අනුව කියල," ඔහු පැවසීය.

Image caption 'ලලිත් සහ කුහන් දෙදෙනා අතුරුදහන් වී ඇති බවක් වාර්තා වී තිබුණේ නෑ'

ඒ අනුව දෙසැම්බර් 15 වන දින විටත් ඔවුන් දෙදෙනා ජීවතුන් අතර සිටියේ යයි රජයේ වගකිවයුත්තන් සනාථ කර තිබුණු බව අධිකරණය හමුවේ තහවුරු කළ බවයි නීතිඥ නුවන් බෝපගේ වැඩිදුරටත් සඳහන් කළේ.

මේ පිළිබඳව බීබීසී සංදේශය කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා ගෙන් විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ, ලලිත් සහ කුහන් දෙදෙනා අතුරුදහන් වී ඇති බවක් තමන්ට වාර්තා වී නොතිබුණු බැවින් ඔවුන් ජීවතුන් අතර සිටිය යුතු බව අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී තමන් ප්‍රකාශ කළ බවයි.

එමෙන්ම සාමාන්‍ය නීතිය යටතේ හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කිසිවකු අත්අඩංගුවට ගනු ලැබුවේ නම් සාමාන්‍යයෙන් බලපැවැත්වෙන ක්‍රියාදාමය එහිදී පැහැදිලි කළ බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

බීබීසී යෙන්