තමිලිනී ස්වයංචරිතාපදානය සිංහලෙන්

තමිලිනී ස්වයංචරිතාපදානය සිංහලෙන්

එල්ටීටීඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා තමිලිනී ජයකුමාරන් විසින් රචිත ස්වයංචරිතාපදානය සඳහා සිංහල පාඨකයන්ගෙන් ලැබී ඇති දැඩි ඉල්ලුම යුද සාහිත්‍යයක අරම්භයක් ලෙස හැඳින්විය හැකි බව එම කෘතියේ ප්‍රකාශක ප්‍රවීණ සිනමා සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායක පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ තමිලිනී විසින් රචිත ස්වයංචරිතාපදානයේ සිංහල පරිවර්තනය "තියුණු අසිපතක සෙවන යට" කෘතිය සිකුරාදා කොළඹදී එළි දැක්වුණු අවස්ථාවේදී.

'පොතක පිටපත් දාහක්වත් විකුණ ගන්න බැරි අවස්ථාවක මේ පොතට ඇතිව තිබෙන ඉල්ලුම යුද සාහිත්‍යයක අරම්භයක් ලෙස හැඳින්විය හැකියි, යුධ සාහිත්‍යයක් හරහා තිස් අවුරුද්දක යුධ අත්දැකීම් කියවන්න අවශ්‍යයි නැවත එවැනි යුද්ධයක් ඇති නොවීමට' ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක වැඩිදුරටත් සඳහන් කළේය.

මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තමිලිනී ජයකුමාරන් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී මියගිය අතර තම ස්වයං චරිතාපදානයේ සිංහල පරිවර්තනයේ ආදායම මහරගම පිළිකා රෝහලට ලබා දෙන ලෙස ඇය ඉල්ලීමක් කොට තිබිණි.

'විවේචනයක්'

'එම ඉල්ලීම නිසාම ඇය නැවත උපදිනවා, මේ පොත කියවන කොට හැඟෙන දේ තමයි ඇය මේ පොතෙන් ඇයට වෙනස් වෙන්න තියෙන අයිතිය පාවිච්චි කිරීම. ඇය එල්ටීටීඊ සංවිධානය ගැන විවේචනයක් කරනවා, නමුත් ඇය අරගලකාරිනියක් ලෙසයි අවසන් මොහොත දක්වාම කටයුතු කළේ'

ඇය තුල ඇතිවූ පරිවර්තනය සමාජයට යහපත් පණිවිඩයක් ලබා දෙන බව පැවසූ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක එලෙස පරිවර්තනය නොවන ජාතිවාදී උන්මත්තකයන්ට ප්‍රතිප්‍රහාර දැක්වීමක් වශයෙන් මෙම පොත ප්‍රකාශයට පත් කළ බවයි කියා සිටියේ.

"තියුණු අසිපතක සෙවන යට" කෘතියේ පළමු පිටපත තමිලිනීගේ ස්වාමිපුරුෂයා විසින් ඇයට ප්‍රතිකාර සිදු කරන ලද වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා වෙත පිරිනමනු ලැබිණ.

'නොනිමි අරගලය'

විවිධ විරෝධතා මැද තමිලිනී ජයකුමාරන්ට ප්‍රතිකාර කොට ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක් ගනු ලැබූ මහරගම පිළිකා රෝහලේ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා වෙත "තියුණු අසිපතක සෙවන යට" පළමු පිටපත පිරිනැමීමට කටයුතු කළ බවත් ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක පැවසීය.

'කොටි ධේනුවකට ප්‍රතිකාර දෙන්නේ කොහොමද කියලා විරෝධතා ආව, වෛද්‍යතුමා ඒ අයට කිව්වා මට එයාගේ ජාතිය, වර්ණය ආගම වැඩක් නැහැ කියලා. ඇය, ඇයගේ අවසන් අවස්ථාවේ ඔහුගේ අත් දෙක අල්ලමින් අඬමින් ඔහුට ස්තුති කළා, කාරුණික සිංහල මිනිස්සු ඉන්නවා කියලා'

කරුණාව දැක්වීම පමණක් ඇයගේ වෙනස් වීමට හේතු වූ බව සඳහන් කළ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කිරීමට ඇති ප්‍රධානතම අවියද එය බවයි සඳහන් කළේ.

'In the shadow of a sharp sword' නමින් දෙමළ බසින් රචිත ග්‍රන්ථය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දේ යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් විසිනි.

"තියුණු අසිපතක සෙවන යට" සිංහල පරිවර්තනය දොරට වැඩීමේ උළෙල සඳහා විශාල පිරිසක් එක් වී සිටියහ.