මුස්ලිම් ළමා විවාහ: මුස්ලිම් නීතිඥවරියකගේ අදහස්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔවුන් විවාහ වී බිරිඳක ගේ කාර්යභාරය ඉටුකිරීමට තරම් කායිකව හා මානසිකව වැඩුණු අය නොවන බවයි පැවසෙන්නේ
ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන් අතර බාල වයස්කාර විවාහ වැඩිවෙමින් පවතින බව සමීක්ෂණ වලින් හෙළි වී ඇතැයි කාන්තා සමාජ ක්‍රියාකාරිනියක වන නීතිඥ හසා නසේහු ඉසදීන් පවසයි.
මුස්ලිම් විවාහ සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නීතියේ විවාහයට එළඹෙන කාන්තාවන්ගේ වයස් සීමාව පිළිබඳව සඳහන්වී නැති බව පෙන්වා දෙන ඇය 'ක්වාසි' නමින් හැඳින්වෙන විශේෂ ආගමික විනිසුරන්ගේ අවසරය මත වයස 12 කට අඩු ගැහැණු දරුවකු වුවද විවාහ කර දිය හැකි බවයි සංදේශයට ප්‍රකාශ කළේ.
බිරිඳක ගේ කාර්යභාරය
එවැනි බාලවයස්කාර දැරියන්ගේ විවාහය නිසා ඇතිවන සමාජ ප්‍රශ්ණ පිළිබඳව සඳහන් කළ නීතිඥ හසා පැවසුවේ අවුරුදු 14 සහ 15 වැනි වයස් කාණ්ඩ වල දැරියන් සම්බන්ධ දික්කසාද නඩු වල දී අසන්නට ලැබෙන තොරතුරු මගින් හෙළිවන්නේ ඔවුන් විවාහ වී බිරිඳක ගේ කාර්යභාරය ඉටුකිරීමට තරම් කායිකව හා මානසිකව වැඩුණු අය නොවන බවයි.
" ඒ ගොල්ලො දික්කසාද කරන්න හේතුව විදියට කියන කරණා තමයි ඒ අය (දැරියන්) ලිංගික එක්වෙන්න බැහැ කියන එක, එයාගෙ (ස්වාමියාගේ) අම්මව බලාගන්නෙ නැහැ, ගෙදර වැඩ හොයල බලල කරන්නෙ නැහැ කියන එක වගේ පොඩි පොඩි දේවල්" යනුවෙනුයි නීතිඥ හසා වැඩිදුරටත් පැවසුවේ.
කොළඹ කාසල් රෝහලේ දරු ප්‍රසුතියට රෝහල් ගතවී සිටි වයස 14 ක දැරියන් තිදෙනෙකු මුණගැසුණු බව පැවසූ ඇය ගැහැණු ළමුන්ගේ මානසික වර්ධනය, අධ්‍යාපනය, මෙන්ම ශාරීරික ශක්තියට ද මෙම බාලවයස්කාර විවාහ වලින් දැඩි බලපෑමක් එල්ලවන බවයි ඇය පැවසුවේ.
'ක්වාසි' අධිකරණය
අඩු වයසින් විවාහ වී දරුවන් ලබන මෙම දැරියන් දික්කසාද නඩු වල දී 'ක්වාසි' අධිකරණය හමුවේ දැඩි අපහසුවට පත්ව දික්කසාද වී දරුවෙකු සමග තනිවූ විටද විවිධ සමාජීය ගැටළු වලට මුහුණ දෙන බවයි නීතිඥවරිය ප්‍රකාශ කළේ.
ඉස්ලාම් ආගමික සංවිධාන තුළම මේ ගැටලුවට විසඳාගත නොහැකිදැයි සංදේශය ප්‍රශ්ණ කළ විට ඇය පැවසුවේ එය දුෂ්කර කාර්යයක් බවයි.
" ආගම තුළ ඇත්තටම පුළුවන්. හැබැයි අවුරුදු 64ක් තිස්සේ ඒ ගොල්ලො කියා කියා ඉන්නවා එත් මොකවත් හදල නැහැ. එත් අපේ කණ්ඩායම් එක්ක ගිහිල්ල කතාකරන කොට මෙහෙම කරන්න කියල පිරිමි අය සද්ද කරලා කියනව මේ ගැන ඔයගොල්ලො කතා කරන්න එන්න එපා කියල" යනුවෙනුයි ඇය අවසාන වශයෙන් කියා සිටියේ.
'නීති මගින් බැහැ'
කෙසේවුවද මින් පෙර වතාවක සංදේශය සමග අදහස් දැක්වූ මුස්ලිම් කාන්තා පර්යේෂණ සහ ක්‍රියාකාරී සංසදයේ අන්බේරියා හනීෆා සංදේශයට කියා සිටියේ එවැනි විවාහ වැළැක්වීමට නීති මාර්ගයෙන් කටයුතු කිරීම එයට විසඳුමක් නොවන බවයි.
මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට අනුව වයස දහසයට අඩු දැරියක විවාහ කර ගැනීම සහ ලිංගික සම්බන්ධතා පැවැත්වීම අපරාධයක් නොවන බවයි ඇය පෙන්වා දෙන්නේ.
"ලංකාවේ නීති හතරක් තිබෙනවා. තේසවලාමේ, උඩරට නීතිය, මුස්ලිම් අයට බලපාන නීතිය, පොදු නීතිය. පොදු නීතියට යටත් වන අයට දණ්ඩ නීති සංග්‍රහය අදාළයි. අපරාධ දණ්ඩ නීති සංග්‍රහයේ විවාහයට අයත් කොටස මුස්ලිම් අයට අදාළ වෙන්නේ නැහැ," යනුවෙනුයි මුස්ලිම් කාන්තා පර්යේෂණ සහ ක්‍රියාකාරී සංසදයේ අන්බේරියා හනීෆා පැවසුවේ.
මානව හිමිකම්
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට අනුව වයස අවුරුදු දහඅටට අඩුවෙන් ළමුන් විවාහ වීම නීතිවිරෝධී වන නමුත් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට අනුව මුස්ලිම් ප්‍රජාවට එම නීතිය බලනොපැවැත්වේ.
නව ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවති වැඩමුළුවකදී අදාළ ප්‍රශ්නය මුස්ලිම් සමාජය විසින් විසඳාගත යුත්තක් බවට අමාත්‍ය රවුෆ් හකීම් පල කළ අදහසට දැඩි විරෝධය පළකළ කාන්තා ක්‍රියාකාරී ජාලය පවසා තිබුණේ මුස්ලිම් සමාජයේ ළමා විවාහ පිළිබඳ ප්‍රශ්නය මුස්ලිම් ජනතාව පිළිබඳ ගැටලුවක් ලෙසින් ලඝු නොකළ යුතු බවයි.
ඕනෑම සමාජයක ළමා විවාහ සිදුවන්නේ නම් එය මානව හිමිකම් සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් බවයි මුස්ලිම් ක්‍රියාධාරිනියන්ද සාමාජිකත්වය දරන කාන්තා ක්‍රියාකාරී ජාලය අවධාරණය කරන්නේ.