විල්පත්තුව ගැන 'කැක්කුමක් තිබේද?'

ඡායාරූප මූලාශ්‍රය, Aluth Parapura
'ගස් කපන එක, සත්තු මැරෙන එක විල්පත්තුවට පමණක් අදාළ ප්‍රශ්නයක්ද?
විල්පත්තුවේ ගීතය නිර්මාණය වූයේ සම්ප්‍රදායයෙන් ඔබ්බට ගොස් සමාජ ගැටලුවක් පිළිබඳ දියුණු කතිකාවක් ගොඩනැගීම සඳහා කරන ලද අත්හදා බැලීමක් වශයෙන් බව එහි පද රචක චින්තන ධර්මදාස පවසයි.
විල්පත්තුවේ වන විනාශයක් සිදු වන බවට මෑත කාලයේ මාධ්‍ය වාර්තා පළ වූ අතර විල්පත්තුව පිළිබඳ සමාජ මාධ්‍ය ජාල තුළ විශාල වශයෙන් අදහස් හුවමාරු වේ.
චින්තන ධර්මදාස විසින් පද රචනය කොට චිත්‍රාල් සෝමපාල සංගීතවත් කොට ගායනා කරන ලද විල්පත්තුව ගීතය ජනතාව අතරට පැමිණෙන්නේ මෙවැනි වටපිටාවකදී.
මතභේදයට තුඩු දුන් සමාජීය ගැටළුවකට එරෙහිව සාම්ප්‍රදායිකව සිදු කෙරෙන උද්ඝෝෂණ, සත්‍යග්‍රහ වැනි විරෝධතා ව්‍යාපාර හරහා ඊට සාධනීය විසඳුම් ලැබෙනවාද යන්න ප්‍රශ්නාර්ථයක් බවයි විචාරක චින්තන ධර්මදාස පවසන්නේ.
'මිනිසුන්ට මීට වඩා නිර්මාණාත්මක ආකාරයකින් ආමන්ත්‍රණය කරන්න පුලුවන්ද කියලා සොයා බැලීම අවශ්‍යයි. මෙය ගීතයක්, යම් කිසි නිර්මාණයක් හෝ ප්‍රසංගයක් හරහා මිනිසුන් සමග සන්නිවේදනයක් ගොඩ නගා ගැනීම සඳහා අපි කළ අත්හදා බැලීමක්, උත්සාහයක්,' ඔහු පැවසීය.
'අත්හදා බැලීමක්'
විල්පත්තුව ගීතය තුළින් 'අපි අපිවම ප්‍රශ්න කරන බවත්' චින්තන ධර්මදාස පවසයි.
'ඇත්තටම අපිට විල්පත්තුව ගැන කැක්කුමක් තියනවද? මම සමාජය පිට වරද පටවනවා නෙවෙයි. මම මේ ගීතය ලියද්දි මම මගෙනුත් ප්‍රශ්න කරපු දෙයක් ඒක.' ඔහු ඒ බව කියා සිටියේ බීබීසී සිංහල සේවයේ සුනෙත් පෙරේරා හා සාකච්ඡාවකට එක් වෙමිනි.
යම් කිසි පුද්ගලයකු හෝ බලධාරියකු පමණක් කේන්ද්‍ර කර ගනිමින් ඇතැම් පිරිස් විල්පත්තුව පිළිබඳ ප්‍රශ්නය ජාතිවාදය සඳහා යොදා ගන්නා බවයි ඔහු පෙන්වා දෙන්නේ.
'ගස් කපන එක, සත්තු මැරෙන එක විල්පත්තුවට පමණක් අදාළ ප්‍රශ්නයක්ද? මේ කියන ආකාරයට එක්තරා සුළු ජන කොටසකින් සිදු වන විනාශයක් විතරද?, මේ ගැන සිතන විට ඇත්තටම අපට පිළිගන්න වෙන දේ තමයි ලංකාවේ වෙනත් වනාන්තරවලත් මේ ආකාරයටම විනාශ වීම් ආරම්භ වී තිබෙනවා.'
විල්පත්තුව හා සමානව අනෙකුත් වන විනාශයන් පිළිබඳ සමාජයේ අවධානයක් යොමු නොවන්නේද යන්න මෑතකදී වාර්තා වූ ඇතැම් සිදුවීම් හරහා පෙනෙන්නට ඇති බවත් චින්තන ධර්මදාස පැවසීය.
'උකුස්සා සහ අලි පැටව්'
'අපි දැක්කා එක තැනක උකුස්සෙක් පණ පිටින් හම ගහලා. ඒ මනුස්සයාගෙන් ඇහුවම කියනවා ඇයි උකුස්සෙක් මරාගෙන කෑවම මොකද කියලා. අපි දකිනවා අලි පැටව් ගෙනත් ආරාමවලට දෙන තත්වයක් තියෙනවා. අලි පැටියා පන්සල තුළ සුරතලයට තමයි ඉන්නේ, නමුත් කැලයෙදී අලි පැටවා අල්ල ගන්නේ කොහොමද කියන කාරණය කාටවත් මතක් වෙන්නේ නැහැ.'
"මේ කාරණා පසෙකින් තබා අපි විල්පත්තුව හරහා එක් ජන කොටසකට පමණක් ඇඟිල්ල දිගු කරමින් ඉන්නවා."
වෙනස් භාවිතාවක් තුළින් සමාජ ගැටළුවක් ආමන්ත්‍රණය කිරීමට ගත් උත්සාහය සඳහා ලැබෙන ප්‍රතිචාර සම්බන්ධයෙන් තමා සතුටු වන බවත් විල්පත්තුව ගීතයේ රචකයා සඳහන් කළේය.
'විල්පත්තුව ගීතය පිටවීමත් සමග ගොඩක් ව්‍යාපාර නැවත පණ ගැන්වුනා. ඒ අය නැවත ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබෙනවා විල්පත්තුව සහ ගස් සිටුවීමේ ව්‍යාපාර හරහා. ඒක හොඳ තත්වයක්. ඒ කියන්නේ අපට පුළුවන් කමක් තිබෙනවා යම් ශක්තියක් මුදා හරින්න වෙනස් ක්‍රමවේදයන් තුළින්'
විල්පත්තුව ගීතය සඳහා සමාජ මාධ්‍ය ඇතුළු වෙනත් වේදිකා තුළ සිදු කරනු ලබන විවේචන හරහා එම පිරිස් කතිකාවකට එක් වන බවත් ඔහු පැවසීය.
'වනාන්තරයක් දේශපාලනීකරණය වෙලා'
'මේ ගීතයේ විල්පත්තුව ගැන මතු කරන කාරණාවලට විරුද්ධ අයට යෝජනාවක් තියෙයි, මේක කතිකාවක් වශයෙන් විවෘත වෙනවා. මෙතනදී වැදගත් වෙන්නේ චින්තන ධර්මදාස හෝ චිත්‍රාල් සෝමපාල නෙවෙයි. මෙතැනදී වැදගත් වෙන්නේ විල්පත්තුව සම්බන්ධයෙන් වැදගත් ක්‍රියාමාර්ගයකදී මිනිසුන්ගේ විශාල බලයක් යොදවන තත්වයක් ඇති කිරීම.'
දේශපාලනිකරණය වී තිබෙන විල්පත්තුව නිර්දේශපාලනිකරණය කිරීමට සිදු වී තිබෙන බවයි ඔහු පවසන්නේ.
"වනාන්තරයක් දේශපාලනීකරණය වෙලා තිබුණේ. දේශපාලනය නැතුව කැළේ දිහා කැළේ විදිහට බලන්න. අපි යෝජනා කරන්නේ කාටවත් චෝදනා කරන්නේ නැතුව අපි අපිව පරීක්ෂා කර බලමු," ඔහු පැවසීය.
"ස්වයං විවේචනයක් හැටියට අපට පුලුවන්ද මේ වගේ සමාජ ගැටළුවක් දිහා බලන්න ගීතයක් හරහා. ඒක ගීතයකින් දේශපාලනය කියනවට වඩා සංකීර්ණ තැනක් වේවි මෙය සාර්ථක වුවොත්," විල්පත්තුවේ ගීතයේ පද රචක චින්තන ධර්මදාස වැඩිදුරටත් කියා සිටියේය.

වීඩියෝ, 'පරිසරය අපට ඔක්සිජන් දෙන්නේ ජාති භේදයකින් තොරවයි'
රුක් රෝපණ සතිය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය හා බැක් ටු ග්‍රීන් (Back to Green) සංවිධානය දිවයින පුරා පැල සිටවීමේ ව්‍යාපාරයක් ආරම්හ කරති.