නිරිතදිග මෝසම සක්‍රිය වෙයි

උඩවලව ජලාශය
ඡායාරූප ශීර්ෂ වැකිය,

උඩවලව දෙවන වරටත් වාන් දමයි

මේ වසරේ නිරිතදිග මෝසම් වැස්ස නියමිත කාලයට සක්‍රිය වී ඇති අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ධාරානිපාත වැසි ඇද හැලෙමින් පවතී.

මුහුදු බද ප්‍රදේශවල සුළඟේ වේගය අධික විය හැකි බැවින් ධීවර ජනතාව මුහුදු යාමේ දී ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

එමෙන්ම කඳුකර ප්‍රදේශයේ නාය යෑම් ඇතිවීමේ අවදානමක් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කළේය.

මේ වනවිටත් කදුකර ප්‍රදේශ බොහොමයක පස් කඳු කඩාවැටීම් සහ මාර්ග අවහිරවීම් රැසක් වාර්තා වී ඇති බවයි ප්‍රාදේශීය වාර්තාකරු අජිත්ලාල් ශාන්තඋදය පවසන්නේ.

ධීවර ජනතාවට
ඡායාරූප ශීර්ෂ වැකිය,

ධීවර ජනතාවට අනතුරු ඇඟවීම්

මසක් ඇතුළත දෙවන වරටත් ඊයේ (14) උඩවලව ජලාශයේ වාන් දොරටු පහම අඩියකින් පමණ විවෘත කළ බව උඩවලව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය කියයි.

උඩවලව ජලාශය මුල්වරට වාන් දැම්මේ අප්‍රේල් 18 දින යි.

මීට අමතරව දැදුරුඔය ජලාශයේ ද වාන් දොරටු විවෘත කර තිබේ.

කොළඹ නාගරික ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල මාර්ග ජලයෙන් යට වීම නිසා ගමනාගමනයට බාධා ඇති වී ඇති බව වාර්තා විය.

කුඹුරක්
ඡායාරූප ශීර්ෂ වැකිය,

වගාවන්ට හානි

මහ වැසි සහ තද සුළං හේතුවෙන් නිවාස කිහිපයකට ද අලාභ හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් දැඩි ආපදා තත්වයක් තවමත් වාර්තා වී නැති බවත් හදිසි ආපදා තත්වයන් දැනුම් දීම සඳහා 117 දුරකථන අංකය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ දිනවල සන්ධ්‍යා භාගයේ ගිගිරුම් සහිත වැසි වර්ධනය විය හැකි නිසා අකුණු අනතුරු ද ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.