උගන්ඩා සංචාරයේ වියදම්: 'මහින්දගේ අයිතියක්'

හිටපු ජනපතිවරයා උගන්ඩාවේ Image copyright Mahinda Rajapaksa/ Facebook
Image caption හිටපු ජනපති මහින්දගේ උගන්ඩා සංචාරය 'නිල සංචාරයක්'

නිල විදේශ චාරිකා වෙනුවෙන් රජයෙන් ගමන් වියදම් ලබාගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අයිතියක් තිබෙන බව හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර පවසයි.

හිටපු ජනාධිපතිවරුන් සතු හිමිකම් සම්බන්ධ පාර්ලිමේන්තු පනතකින් එය තහවුරු වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර බීබීසී සංදේශයට පැවසීය.

හිටපු ජනාධිපතිවරයාගේ උගන්ඩා සංචාරයට අදාළ ගුවන් ටිකට්පත වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය රුපියල් හාර ලක්ෂ විසිපන්දහසක් ගෙවා ඇති බව පසුගියදා හෙළිදරව් විය.

උගන්ඩා ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වන මෙන් හිටපු ජනාධිපතිවරයාට නිල වශයෙන් ආරාධනයක් ලැබී තිබුන බැවින්, ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම උත්සවයට සහභාගි වූ බවයි උදිත ලොකුබණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ.

තායිලන්ත චාරිකාව

සංචාරයට අදාළ ආහාර සහ නවාතැන් පහසුකම්ද සපයන මෙන් පුද්ගලික ලේකම්වරයා විදේශ අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබුණත්, විදේශ අමාත්‍යාංශය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි ජනමාධ්‍ය වාර්තා කරන්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට ඉහතදී තායිලන්තයේ කළ සංචාරය, නිල සංචාරයක් නොවූ බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් වියදම් ඉල්ලා නොසිටි බවත් පුද්ගලික ලේකම්වරයා පැවසීය.

Image caption හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසගේ ආහාර සහ නවාතැන් පහසුකම් සපයන මෙන් ඉල්ලා සිටිමින් උදිත ලොකුබණ්ඩාර විදේශ අමාත්‍යංශයට යොමු කළ ලිපිය

ශ්‍රී ලංකා රජය නියෝජනය කළ අවස්තාවක හැර අන් කිසිදු අවස්තාවක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ විදේශ චාරිකා වෙනුවෙන් රාජ්‍යය වියදම් දරා නැති බවයි ඇයගේ ප්‍රකාශිකාවක් මීට ඉහතදී බීබීසී සිංහල සේවයට කියා සිටියේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උගන්ඩා සංචාරයට රජයෙන් ගුවන් ටිකට් පත ලබාදීම සිවිල් සංවිධානවල දැඩි විරෝධයට ලක් විය.

අදාළ සංචාරය හිටපු ජනාධිපතිවරයාට ලැබුණු පුද්ගලික ආරාධනාවක් මත පදනම් වූවක් බැවින් ඒ සඳහා රජයෙන් මුදල් ගෙවීම අනුමත කළ නොහැකි බව ඔවුන්ගේ තර්කය වී තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර