කාලගුණය තවමත් අයහපත්

ශ්‍රී ලංකාව පුරා බල පැවැත්වෙමින් තිබෙන දැඩි වර්ෂාව, සුළං සහ නාය යාම් තත්වය හේතුවෙන් මේ වන විට මාස දහයක ළදරුවකු ඇතුළු අට දෙනකුවත් මිය ගොස් ඇති අතර තවත් තිදෙනකු අතුරුදහන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ ලංකාව පුරා මේ වන විට පවුල් 6000 කට අයත් 12,000 කට ආසන්න පිරිසක් අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි.

ධාරානිපාත වැසි, ගංවතුර සහ නාය යාම් වලින් පීඩාවට පත් වන පවුල් වලට සහන සැපයීමට සහ සෙවන ලබා දීමට ලංකාව පුරා ප්‍රදේශ කිහිපයක මේ වන විට තාවකාලික සහන මධ්‍යස්ථාන දහයක් පිහිටුවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.

පුද්ගලයන් එක්දහස් අටසිය පනස් තුනක් ඔවුන්ගේ නිවාස වලින් ඉවත් කොට ආරක්ෂක ප්‍රදේශ වලට ගෙන යාමටත්, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන්ට ආහාර පාන සහ අත්‍යවශ්‍ය සේවා සැපයීමටත් රට පුරා විසිර තිබෙන ආපදා කළමනාකරණ කාර්යාල සමත් වී ඇති බවයි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ.

ඊට අමතරව කැලණි ගඟ දෙපස පහත් භූමි වතුරෙන් යට වීමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර එම පෙදෙස් වල ජීවත් වන ජනතාවට ආරක්ෂා සහිත උස් බිම් කරා යාමට උපදෙස් ලබා දී තිබේ.

බුත්තල කතරගම මහ මාර්ගය, ඇල්ල වැල්ලවාය සහ අම්පාර මහ මාර්ගය දැඩි වැසි තත්වය හේතුවෙන් අවහිර වී ඇති අතර දැදුරු ඔය සහ උඩවලව ජලාශයන්ගේ වාන් දොරටු විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක වල ආපදා කළමනාකරණ කාර්යාල මෙම අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත් වැසියන්ට සහන සේවා සැපයීම වෙනුවෙන් අනුයුක්ත කර ඇති බවයි නිවේදනයේ සඳහන් වන්නේ.