'මැදපෙරදිගින් වසරක් තුළ පැමිණිලි දසදහසක්'

මැද පෙරදිග ගෘහ සේවය

ශ්‍රී ලංකාවෙන් විදෙස් රැකියා සඳහා ගිය පුද්ගලයන්ගෙන් 2015 වසර ඇතුළත පැමිණිලි 10505ක් ලැබී ඇති බව විදේශ කටයුතු භාර ඇමතිවරියගේ මාධ්‍ය ලේකම්වරයා පවසයි.

විදේශ කටයුතු භාර ඇමතිවරියගේ මාධ්‍ය ලේකම් නලින් රාජපක්ෂ මේ බව කියා සිටියේ බීබීසි සංදේශය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

2015 වසර තුළ ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් බහුතරයක් ලැබී තිබෙන්නේ සෞදි අරාබියේ ගෘහ සේවය සහ අනෙකුත් රැකියා වෙනුවෙන් ගිය පුද්ගලයන්ගෙන් බවයි ඔහු පවසන්නේ.

මැද පෙරදිග ගෘහ සේවය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඒ අනුව කුවේට් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික සේවකයන්ගෙන් පැමිණිලි එක්දහස් නමසිය එකක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය 963ක්, කටාර් රාජ්‍යය 726ක්, බහරේන් 366ක්, ඕමාන් 218ක්, සිංගප්පූරුව 88ක් සහ මැලේසියාව 241ක් වශයෙන් විදෙස් සේවා නියුක්ති කාර්යාංශය වෙත ඒ ඒ රටවල සේවය කරන ශ්‍රී ලාංකික සේවකයන්ගෙන් පැමිණිලි ලැබී තිබේ.

ලැබී ඇති පැමිණිලි යම් වර්ගීකරණයකට භාජනය කළොත් කුමන ආකාරයේ කරුණු මෙතුළින් ඉදිරිපත් වී ඇති දැයි සංදේශය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මාධ්‍ය ලේකම් නලින් රාජපක්ෂ කියා සිටියේ ශ්‍රී ලාංකික විගමන සේවකයෙකුට සිය රැකියාව ආශ්‍රයෙන් ඇති වන ඕනෑම ගැට‍ළුවක් හේතුවෙන් තමන්ට යම් අගතියක් සිදු වන්නේද එම පුද්ගලයා විසින් ඉදිරිපත් කරන පැමිණිල්ල විදෙස් සේවා අමාත්‍යාංශයෙන් භාර ගනු ලබන බවයි.

ඒ අනුව උදාහරණයක් ලෙස දේශීය රැකියා නියෝජිතයන් විසින් පොරොන්දු වූ රැකියාව එම රටට ගිය පසු නොලැබීම, පොරොන්දු වූ වැටුප වෙනුවට අඩු වැටුපක් ලබා දීම, රැකියා ගිවිසුම සේවාදායකයා විසින් උල්ලංඝනය කිරීම ඇතුළු විවිධ හේතුන් මත විදෙස් රැකියාවේ යෙදෙන සේවකයා හෝ ඔහුගේ පවුලේ ඥාතීන් විසින් විදෙස් සේවා සමත අංශයට පැමිණිලි ලැබෙන බවයි ඔහු පවසන්නේ.

මැද පෙරදිග ගෘහ සේවය

දේශීය රැකියා නියෝජිතයන් පුද්ගලයන් රැකියා සඳහා පිටත් කර යැවීමේ දී ඔවුන්ට පොරොන්දු වූ වැටුප නො ගෙවන්නේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මෙම නියෝජිතයන්ට එරෙහිව පියවර ගැනීමේ යන්ත්‍රණයක් තිබේ දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නලින් රාජපක්ෂ පැවසුවේ, ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන සියලුම විදෙස් රැකියා ඒජන්සි කරුවන් සේවකයන් බඳවා ගැනීමේ දැන්වීම් ප්‍රචාරය කිරීමට පෙර වැටුප් ප්‍රමාණ සහ අනිකුත් තොරතුරු විදෙස් සේවා නියුක්ති කාර්යාංශයට ඉදිරිපත් කොට ඒ තොරතුරු සත්‍ය බවට සහතික කෙරෙන අවසරයක් ලබා ගත යුතුව පවතින බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ලියාපදිංචි වී ඇති සියලුම විදෙස් සේවා ඒජන්සි මෙම ක්‍රියාපටිපාටිය අනුගමනය කළ යුතු අතර පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනී දැන්වීම් සියල්ලක්ම ඒ හරහා රජයේ අධීක්ෂණයට ලක් වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඕනෑම පුද්ගලයෙකු රට රැකියාවක් සඳහා ඒජන්සියක සහය පැතීමට පෙර එම ආයතන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කර තිබේ දැයි සොයා බැලීම තුලින් ව්‍යාජ පොරොන්දු වලට හසු වීමෙන් වැළකී සිටීමට හැකියාව පවතින බවයි මාධ්‍ය ලේකම් නලින් රාජපක්ෂ පෙන්වා දුන්නේ.